'මහින්දගේ රජය මල්වඩමෙනුත් ගසා කාලා' - ජනපති කියයි

Thursday, 03 December 2015 - 11:20

%27%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%A9%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%27+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ වුනා. අද විවාදයට ගැනෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඇතුලු ආයතන කිහිපයකට අදාළ වැය ශීර්ෂයි.

පසුගිය රජයට ලැබී තිබු තුනෙන් දෙකක බලය රජයේ පාලනය ශක්තිමත් කර ගැනීමට පමණක් භාවිතකර තිබු බව විවාදයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

කෙසේවෙතත් යහපාලන රජය පත්වීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර විධායකය සතු බලතල බොහෝ ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරීමට හැකිවු බව මෛත්‍රීපාල සිරිසේන සඳහන් කලා. එමෙන්ම කොමිෂන් සභා 9 ක් ස්ථාපිතකර පුරවැසියාගේ අයිතියක් වන ඡන්ද බලයේ නිදහස ස්ථාපිත කිරීමට හැකිවු බව ද ඔහු කියා සිටියා.  

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේ  රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී ජාත්‍යන්තර සහය ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවේ තත්වය හේතුවෙන් බෙදී තිබු ජාත්‍යන්තර රටවල් යළිත් ලංකාවට හිතවාදී තත්වයට පත්කර ගැනීමට නව රජයට හැකිවී ඇතැයි මෛත්‍රීපාල සිරිසේන කියාසිටියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් ශ්‍රී ලංකාව පිළිබඳ තිබු වැරදි ප්‍රතිරූපය ඉවත්කරගෙන ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රබලව දායකත්වය ලබාදුන් රටවල් පසුගිය රජය සමයේ ඈත්වු අතර මේවන විට එම සියලු රටවල් යළි ශ්‍රී ලංකාව සමග මිත්‍ර සබඳතා වර්ධනය කරගෙන ඇතැයි මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලා.

මේවන විට ශ්‍රී ලංකාවට සතුරු කිසිදු රටක් හෝ සංවිධානයක් නොමැති බව ඔහු පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නා. සියලු රාජ්‍යයන් ශ්‍රී ලකාව මිත්‍ර රාජ්‍යක් ලෙස පිළිගෙන ඇති බවයි ඔහු කියාසිටියේ.

ප්‍රංශයේ පැරිස් නුවරදී පැවති ජගත් සංවිධාන කාලගුණ විපර්යාස පිළිබඳ සමුලුවේදී ශ්‍රී ලංකාවේ දැක්ම සහ මතය ජාත්‍යන්තරයට ගෙන යාමට හැකිවුවා මෙන්ම ජාත්‍යන්තර නායකයන් ලංකාව පිළිබඳ දක්වන ප්‍රසාදය ඉහළ නංවා ගැනීමට ද හැකිවු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයට යුරෝපා සංගමය පනවා ඇති තහනම  ඉවත්කර ගැනීමට සහය ලබාදීම වෙනුවෙන් පුර්ණව කැපවන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සහතික වු බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.

මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ ලංකාවේ සිදුවන වැඩපිළිවෙල පිළිබඳ අසුබවාදීව නොසිතා සුබවාදීව බැලීමට සියලුදෙනා කටයුතු කල යුතු බවයි. ශ්‍රී ලංකාවේ යළිත් යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට ගන්නා පියවරේදී ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් පුර්ණව කැපවී කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කලා.

උතුරු දකුණු ජනතාව අතර මිත්‍රශීලීත්වය ඇති කිරීමට මෙන්ම සැකය දුරු කිරීමට සහ සංස්කෘතීන්වල පවතින විවිධත්වයන් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජයේ සාමාජික පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ රට ඉදිරියට ගෙන යන ගමනට සහය ලබාදෙන ලෙසටයි. ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කලා. ජනාධිපතිවරයා සතු බලතල සම්පුර්ණයෙන් පාර්ලිමේන්තුවට පැවරිය යුතුය යන්න තමා දැඩිව විශ්වාස කරන බව මෛත්‍රීපාල සිරිසේන සඳහන් කලා.

තම විදේශීය සංචාරවලදී පසුගිය රජය සමයේ මෙන් නොව මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමක් සිදු නොවු බවයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් කියාසිටියේ. ගුවන් යානයක විශාල පිරිසක් රැගෙන විදෙස් සංචාර සඳහා යාමට අවස්ථාව තිබියදීත් අවශ්‍ය නිලධාරීන් පිරිස සමග සාමාන්‍ය ගුවන්යානයකින් අදාළ විදෙස් සංචාරවල නිරතවීම තුලින් ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට වගබලා ගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කලා.

තමාගේ ගමන්වලට හැර පවුලේ සාමාජිකයන්ගේ ගමන් වෙනුවෙන් හෙලිකොප්ටර් යානා යොදා නොගත් බවයි ඔහු අවධාරණය කලේ. පසුගිය රජය සමයේ අසීමිතව ගුවන්යානා භාවිත කිරීම හමුවේ රටේ ආර්ථිකයට උසුලාගත නොහැකි බරක් පැරවී තිබු බව මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ සිටි 1,700 ක් පමණ වු නිලධාරී මණ්ඩලය 600 ක් පමණ දක්වා අඩු කිරීමට වත්මන් රජය යටතේ පියවර ගත් බව ඔහු කියාසිටියා.

පසුගිය රජය සමයේ අවමංගල්‍ය උත්සවවලට ලබාදුන් මල් වඩමෙන් පවා මුදල් ගසා කෑ නිලධාරීන් සිටි බවයි මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ. එය නිලධාරී මණ්ඩලයේ ක්‍රියාකාරකම් නිසි ලෙස අධීක්ෂණය නොකිරීම හමුවේ සිදුවු කටයුත්තක් බව ඔහු සඳහන් කලා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කලේ බලය බෙදීමේ පුර්ණ සංකල්පය මත ජාතික සංහිඳියා වැඩපිළිවෙල ශක්තිමත් කරන බවයි. එමෙන්ම සමෘද්ධිමත් රටක් ගොඩ නැගීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට අවංකව කැපවී සයන ලබාදෙන ලෙසටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ විපක්ෂ සියලු මැති ඇමතිවරුන්ගෙන් වැඩිදුරුටත් ඉල්ලා සිටියේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories