අයවැය, තුනෙන් දෙකකින් සම්මතයි - මහින්ද ඇතුළු 13 ක් නැහැ

Sunday, 20 December 2015 - 7:55

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%2C+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අයවැය තුන්වන වර කියවීම ඊයේ (19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 109 කින් සම්මත වුණා. අයවැයට පක්ෂව එහිදී ඡන්ද 160 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 51 ක්.

මුදල් අමාත්‍ය රවී කරුණානායක ලබන වසර සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නොවැම්බර් 20 වනදායි.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය 2 වනදා පැවති අතර, එහිදී එය වැඩි ඡන්ද 107 කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52 ක්.
 
මන්ත්‍රීවරුන් 13 දෙනෙකු, ඊයේ අවසන්වරට ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයට පැමිණ සිටියේ නැහැ.  

මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, විමල් වීරවංශ, තේනුක විදානගමගේ, ජනක බණ්ඩාර, මනූෂ නානායක්කාර, සිරිපාල ගම්ලත්, ප්‍රේමලාල් ජයසේකර, ගීතා කුමාරසිංහ, සෙල්වම් අඩෙක්කලනාදන්, ශිව ශක්ති ආනන්දන්, අලි සහීර් මවුලානා, එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන එම පිරිසට අයත්.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවට නොපැමිණි එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සහ හෙළ උරුමයේ රතන හිමියන් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ අයවැයට සහය පළ කිරීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡුන්දය භාවිතා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡුන්දය ප්‍රකාශ කළේ අයවැයට විරුද්ධවයි.

අයවැයට එක් කළ නව සංශෝධන නිසා රුපියල් මිලියන 35,500කින් රජයේ වියදම ඉහළ ගිය බව අයවැය පිළිතුරු කතාව සිදුකරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ ප්‍රකාශ කළා. විවිධ ක්ෂේත්‍රයන්ගේ වියදම අඩු කර එය පියවා ගන්නා බව ඔහු සදහන් කළා.

මෙවර අයවැයෙන් රජයේ සම්පත් සමබරව වෙන් කර ආයෝජන ප්‍රවර්ධනයට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළ බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.

මීට පෙර ප්‍රකාශයට පත්වූ සංශෝධන පිළිබදව ද ඔහු වැඩිදුර කරුණු දැක්වීමක් මෙහිදී සිදුකළා.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම යටතේ වැඩි කරන ලද රුපියල් දස දහසේ දීමනාවෙන් 2500ක් ජනවාරි මාසයේදී මූලික වැටුපට එක් කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක තවදුරටත් සදහන් කළේ.

අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ආණ්ඩුවෙන් විමසා සිටියේ ජනවාරියේ මෙම සංශෝධන ඇතුළත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ ද යන්නයි.

සවිස්තර තොරතුරු ඇතුළත් කර ඊට අදාළ වාර්තාවක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළා.

මේ අතර, අයවැය ඡන්ද විමසීමෙන් පසු විදේශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා 12ක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමඟ ඇති කර ගත් ගිවිසුම්වලට අදාළවයි එම යෝජනා ගොනු කර තිබුණේ.

ඊට වෙන් වෙන් වශයෙන් ඡන්ද විමසීම් අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළ අතර, සභාවේ මතු වූ උණුසුම් තත්ත්වයත් සමඟ එම මන්ත්‍රීවරුන් ඉන් පිටව ගියා.

පසුව යෝජනා දෙකකට පමණක් ඡන්ද විමසීම් සිදුකෙරුණා.

එහිදී එක් යෝජනාවක් ඡන්ද 157කින් ද, අනෙක් යෝජනාව ඡන්ද 156කින් ද සම්මතවීම විශේෂත්වයක්. ඊට එරෙහිව කිසිවෙකුත් ඡන්දය භාවිත කළේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories