භික්ෂු කතිකාවත රජයේ නීති පැනවීමක් නොවෙයි - අස්ගිරි මහනාහිමි

Tuesday, 26 January 2016 - 6:30

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
‍ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රෛයි නිකායික අති පුජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය රජයෙන් කළ ඉල්ලීමක් බව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන්  නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
 
එය භික්ෂූන්වහන්සේ පාලනය කිරීමට රජය මගින් නීති පැනවීමක් නොව භික්ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් පමණක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

භික්ෂූ කතිකාවත් තුළ අන්තර්ගත විය යුතු කරුණු පනතට ඇතුළත් වීම මෙමගැටලුවට හේතු වන්නට ඇති බව පවසන අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් අවධාරණය කරන්නේ මෙම පනත කාලීන අවශ්‍යතාවක් බවයි.

මේ අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පෙන්වා දෙන්නේ ථේරවාදී භික්ෂු කථිකාවත් පනතක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතියත් විවිධ රජයන් දේශපාලන කරුණු මුල් කරගෙන එයට ප්‍රමුඛතාවය ලබා නොදුන් බවයි.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග දේශපාලනික අරමුණු අරභයා නොසලකා හැරීම හේතුවෙන් මතුව ඇති ගැටලු තවදුරටත් විසදා ගත නොහැකි තත්ත්වයකට යොමු වෙමින් පවතින බව උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දෙනවා.
 
වර්තමාන රජය ආරම්භ කර ඇත්තේ පසුගිය රජයන් විසින් නොසලකා හැර තිබූ ශාසනික කටයුත්තක් බව එම ලිපියේ වැඩිදුරටත් සදහන්. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි ශාසනික කටයුත්තකදී පක්ෂ පාටවලට නොබෙදා සදොස් තැන් නිදොස් කර ශාසනාරක්ෂාව සඳහා ගනු ලබන මේ පියවරට සැවොම සහයෝගය දිය යුතු බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව භික්ෂූන්වහන්සේ පිරිසක් ඊයේ (25)කළුතරදී සත්‍යග්‍රහයක නිරත වුණා.

සමස්ත ලංකා ත්‍රෛනිකායික ඒකාබද්ධ මහා සංඝ සභාව  කලුතර නගරයේ විරෝධතා පාගමනක නිරත වුණේ යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිවයි.

කලුතර බෝධිරාජාරාම විහාරස්තානයේ සිට නගරය හරහා පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේ කලුතරල ඓතිහාසික බෝධීන් වහන්සේ ඉදිරිපිට මාර්ගයේ සත්‍ය ක්‍රියාවක නිරත වුණා.

සමස්ත ලංකා ත්‍රෛනිකායික ඒකාබද්ධ මහා සංඝ සභාවේ කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හියන සඳහන් කලේ....

".....ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු කරන්න අපේ ඇතැම් මහානායක හාමුදුරුවෝ විවිධ ප්‍රකාශ කරමින් භික්ෂූන් වහන්සේලාගේ මතය යටපත් කරන්න උත්සාහ කරනවා.... කලුතරින් මේ ආරම්භ කරපු පළමු වෙඩි මුරය ත්‍රෛනිකායික මූලස්ථාන දක්වා මේක ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.... මේ පනත පරාජය කරන්න අපි ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්....."



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories