ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරයට

Tuesday, 26 January 2016 - 13:02

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබන මස 9 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තීන්දුවෙන් පසුව ස්වාමීන් වහන්සේලා ඇතුලූ පිරිසක් අධිකරණ සංකීර්ණයෙන් පිටත සිට ඊට විරෝධය පළ කිරීමත් සමඟ උනුසුම් තත්ත්වයක් මතුවුණා.

ඒ අනුව බන්ධනාගාර බස් රථයට ද එම ස්ථානයෙන් පිටවීමට නොහැකි වූ අතර, මීට ටික වේලාවකට පෙර ඥාණසාර හිමියන් වෙනත් වාහනයකින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අනතුරුව යළි හෝමාගම අධිකරණ සංකීර්ණය අවට නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර, එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.

නඩු විභාගයෙන් අනතුරුව ඥානසාර හිමියන් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී අධිකරණ කටයුතුවලට බාධාවන පරිදි දේශනයක් පවත්වා ඇති බව ඊයේ වාර්තාවුණා.

ඒ අනුව නඩු විභාගය අවසානයේදී එහි පාර්ශවකරුවන් අධිකරණයෙන් පිටව ගිය පසු අදහස් දැක්වීමට පටන්ගත් ඥානසාර හිමියන් ප්‍රකාශ කර ඇත්තේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් සිරබාරයට ගැනීම වරදක් බවයි.

එමෙන්ම ඔවුන් සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකියාව ඇති බවද උන්වහන්සේ සඳහන් කර තිබුණා.  

එම අවස්ථාවේදී විනිසුරුවරයා ඥානසාර හිමියන්ට ප්‍රකාශ කළේ දිගින් දිගටම කතා කරන්නට උත්සාහ කරනවා නම් අධිකරණ කටයුතුවලින් ඉවත්ව තමන් එම ස්ථානයෙන් බැහැර වන බවයි.

කෙසේ වෙතත් ඥානසාර හිමියන් දිගින් දිගටම තවදුරටත් අදහස් දැක්වීම හේතුවෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙය අධිකරණයට කරන ලද අපහාසයක් බැවින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

අනතුරුවයි ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පසුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කළේ. ඒ අනුව අද උදෑසන හෝමාගම පොලීසියට භාරවුණු ඥාණසාර හිමියන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ උන්වහන්සේ ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් පසු අධිකරණ සංකීර්ණය අසල රැඳී සිටි තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් තමන්ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලමින් විරෝධය පළ කළ බවයි.

එසේම බන්ධනාගාර බස් රථයට අධිකරණ සංකීර්ණය අසලින් පිටවීමට නොහැකි පරිදි මාර්ගය අවහිර කළ ස්වාමීන් වහන්සේලා, තාප්පයෙන් පැන අධිකරණ භූමියට ඇතුලූවී තිබුණේ ප්‍රධාන ගේට්ටුව පොලීසිය වසා දැමීම හේතුවෙන්.

සිද්ධිය පාලනය කිරීමට පොලිස් කැරළි මර්ධන ඒකකයද එම ස්ථානයට කැඳවනු ලැබුවා. එසේම ස්වාමීන් වහන්සේලා පිරිසක් අධිකරණයට ඇතුලූවන ගේට්ටුව අවහිර කරමින් ඒ අසල වාඩිවී සිටියා.  

ඒ අනුව තීන්දුව ලබාදීමෙන් පසු පැය 5 කට ආසන්න කාලයක් අධිකරණ සංකීර්ණය අවට නොසන්සුන්කාරී තත්ත්වයක් පැවතුණා.

පස්වරු 5.20ට පමණ ඥාණසාර හිිමියන් එම ස්ථානයෙන් රැගෙන ගියේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මල්වතු මහ නාහිමියන්ට සහ කෝට්ටේ පාර්ශවයේ මහ නාහිමියන්ට භාරදෙන ලෙස පොලීසියට නියෝග කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories