පොලිසිය අධිකරණ නියෝගය නොතකයි - පොලිස්පතිට දැඩි ජනතා විරෝධයක්?

Thursday, 04 February 2016 - 22:38

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%3F
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව පොලිසිය ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳ මේ වනවිට මතුව ඇත්තේ දැඩි කතාබහක්. නීතිය ක්‍රියාත්මක කරවීමට සිටිනා ප්‍රධාන ආයතනයක් වන්නේ පොලිසියයි. යම් සිද්ධියක් පිළිබඳ අධිකරණයට නිසි තොරතුරු - 'නොසඟවා  වාර්තා කිරීමේ වගකීමද' පොලිසියට පැහැර හැරිය නොහැකිය.
 
ඇඹිලිපිටිය නගරයේ තෙමහල් නිවසක දෙවන මහලේ පැවති  උත්සව අවස්ථාවකට පොලීසිය කඩාවැදී  29 හැවිරිදි තරුණයෙකුට පහර දී උඩු මහලෙන් තල්ලු කල බවට වාර්ථාවූයේ පසුගිය ජනවාරි 04 වනදායි. අනතුරට පත් වූ සුමිත් ප්‍රසන්න දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූවා.

පොලිසිය පැමිණ  මත්පැන් ඉල්ලූ  බවත්, 'A.S.P. මහත්තයා' පපුවට පිස්තොලේ තබා තර්ජනය කළ  බවත්, පැමිණ සිටි ඇතැම් නිලධාරීන් බීමත්ව සිටි බවත්, සාදය කඩාකප්පල් කළ  බවත්  නිවැසියන් සඳහන් කළා.

මියගිය පුද්ගලයාට වයස අවුරුදු 7ක දියණියක් ද සිටින අතර, බිරිඳ ද ගැබිණියක්. ඇය ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය පිළිබද පොලීසියෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි.

"රත්නපුර ඩී.අයි.ජී. ඔෆිස් එකටත් ගිහිල්ලා පැමිණිලි කරන්න ගියා.... එතෙන්දි පැමිනිල්ලක් ලියා ගත්තා.... ඒත් මට ඒක කියවන්න දුන්නෙත් නෑ.... අත්සනක් ගත්තා.... එතන මට තර්ජනයත් කළා.... ගොඩක් වද දුන්නා එයාලා.... ප්‍රශ්න අහලා හරස් ප්‍රශ්න එහෙම අහලා...පොලිසියට විරුද්ධව මේ කරන්න යන දේ බරපතලයි ඔයාට මේවයේ උසාවි ගානේ ලෝයර්ස්ලා ගානේ ගෙනියන්න මේවයේ පිටපත් දෙන්නේ නැහැ....ඕවා ඔයා දැන් ගිහිල්ලා කියන්න යන්න එපයි කිව්වා දැන් අපි මේවා හොයලා බලන්නේ නෑ කියලා........."

තරුණයාගේ මරණයට හේතුව සිරුරට සිදුවූ බහුවිධ තුවාල බව අනාවරණ වූයේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්.

ඝාතන සිද්ධියට සම්බන්ධ බව පැවසෙන ඇඹිලිපිටිය පොලිසියේ 21 දෙනෙකු වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යැවුනා.

ආන්දෝලනාත්මක ඇඹිලිපිටිය සිද්ධිය පිළිබඳ අධිකරණය නියෝග කළේ සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා  අත්අඩංගුවට ගන්නා ලෙසයි.

නඩු විභාගය වාර්තා කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි මාධ්‍යවේදීන්ට ද  පොලිසියෙන්  බාධා එල්ලවී තිබුණා.  

තරුණයා මියගොස්  සති 03කට වැඩි කාලයක් ගත වී තිබියදීත් පොලිසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ දැඩි සැකයක් මතුවනවා.  

අධිකරණය නියෝග නිකුත් කර තිබියදීත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා  මාරු කර යැවුනේ පොලිස් මූලස්ථානයට අනුයුක්ත - නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයටයි.

ඇඹිලිපිටිය පොලිස්ථානයේ සිට අවිස්සාවේල්ල පොලිස්ථානයට මාරු කර යැවුණූ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ ඩයස් යළිත් පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.

ඇඹිලිපිටිය මියගිය තරුණයාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උඳුල් ප්‍රේමරත්න, සහකාර පොලිස් අධිකාරීවරයා  ඇතුළු පිරිස මාරු කර යැවීම පිළිබඳ  මෙවැන්නක් ප්‍රකාශ කළා.

"...සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා දවස් 5ක් ගත වෙලා තියෙනවා. පොලිස්පතිවරයා විසින් තවමත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරලා නැහැ. මෙම ඝාතනයට වගකිව යුතු ප්‍රධාන සැකකරු වන ඒ.එස්.පී. වරයා අත්අඩංගුවට ගන්නේ නැතුව පොලිස්පතිවරයා විසින් පුදුමාකාර ආරක්ෂාවක්  පක්ෂපාතී භාවයකින් තමයි මෙම ඝාතනයට පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන්නේ.  එම නිසා මේ පිළිබඳව අපි  අභියාචනාධිකරණයට මැන්ඩාමුස් ආකාරයේ රීට් ආඥාවක් සදහා ඉදිරිපත් කළා. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගය වහාම පොලිස්පතිවරයා ලවා ක්‍රියාත්මක කිරීම සදහා...."

ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර  දින 5කට පසුවයි සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගැනුණේ. ඒ වන විටත් ඔහු ප්‍ර‍සිද්ධියේම සේවයේ නිරත වී සිටීමද විශේෂත්වයක්.

නීති විශ්ලේෂකයින් පවසන්නේ මෙම තත්වය අධිකරණ නියෝගය සමච්ච්චලයට ලක් කිරීමක් බවයි.

පොලිසිය තව තවත්  ජනතා අප්‍රසාදයට ලක්වන්නේ අධිකරණ නියෝගයට අනුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර මෙතෙක් දින 08ක් පමණ ගෙවී ඇතත් අනෙක් සැකකරු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්.

ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීමෙන් නීතිය සහ පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය බිද වැටෙන බව,  අදාළ ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්නගේ ඥාතීන් වෙනුවෙන්,  පොලිස්පතිවරයා වෙත යැවූ එන්තර වාසියෙහි සදහන් වනවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නොතකා කටයුතු කිරීම පොලිස්පතිවරයා සැකකරුවන් පිළිබද දක්වන විශේෂ සැලකිල්ලක් ලෙසයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා, ස්ථානාධිපතිවරයා  අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළේ සිද්ධියට අදාළ නඩුවේ 03 වන දින සාක්ෂි කැඳවීමේදීයි.

ඇඹිලිපිටියේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස  පොලිස්පතිවරයාට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්  මියගිය තරුණයාගේ බිරිද වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් පසුගිය දෙවෙනිදා  අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතා විරෝධය මතු වූ එමෙන්ම කළු පැල්ලම් වූ සිද්ධීන් රැසක් වත්මන් පොලිස්පතිවරයා යටතේ  වාර්තා වුවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස සිදුවූ කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ කාර්ය භාරය ජනතා අප්‍රසාදයට ලක්වූ වූ තවත් එවැනිම ප්‍රධාන සිදුවීමක්. එහිදී ද පොලීසිය අවස්ථා 3කදී සිද්ධියට සම්බන්ධතාවයක් නොමැති පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට පහර දී තිබුණා. පසුව හෙළි වූයේ ඔවුන් දැරියගේ ඝාතනයට සම්බන්ධ නොමැති බවටයි. එහිදී සිදුවූ පොලිස් අත්වැරැද්ද සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඍජුව වගකිව යුතු වුවත් ඔහු අනුගමනය කළේ නිහඬ පිළිවෙතක්.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් මස කොළඹ පැවැති සිසු උද්ඝෝෂණයකට ද පොලීසිය පහර දුන්නා. එහිදී ද පොලීසිය බලය අයුතු ලෙස භාවිතා කර ඇති බවට අනාවරණ වුවත් නීතිය ක්‍රියාත්මක වූයේ ඉතා අල්ප වශයෙන්.

පසුගිය දෙසැම්බර් මස 21 වන දා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දෙමටගොඩ දී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියේදී පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නැගුණා. එම සිද්ධියට ඍජුවම සම්බන්ධ වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ සිද්ධිය සිදුවී දින 19කට පසුවයි.

මහජනතාවට වඩාත් සමීපවන්නට යැයි අපේක්ෂා කරමින් පසු ගිය කාලයේ පොලිස් ස්ථාන වටකර තිබූ තාප්ප කඩා ඉවත් කළද, ජනතාව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි යම් මට්ටමකට හෝ  තැබූ විශ්වාසය  සුනු විසුණුව ගිය තවත් සිද්ධිදාමයන් බොහොමයක් බැර වන්නේ වත්මන් පොලිස්පතිවරයාගේ 'පාලන තන්ත්‍ර' ගිණුමටයි.

නීතියේ සමානාත්මතාව අභියෝගයට  ලක්ව ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ වැඩි දුරටත් පවසන්නේ පොලිස්පතිවරයාට මෙම චෝදනාවෙන්  ගැළවිය නොහැකි බවයි.  

"....මුළු රටම බලාගෙන ඉන්නවා මේ යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ වීම වෙනුවෙන්. මේ ක්‍රියාවලින් පොලිසිය කෙරෙහි තියෙන විශ්වාසය පළදු වීමක් වෙන්නේ. අනිවාර්යයෙන්ම මෙම සිදුවීම පැහැදිලි සාක්ෂි තියෙනවානම් ඔවුන් අත්අඩංගුවට නොහැකිවීම තුළ වගකීමක් පොලිස්පතිතුමාට එල්ල වනවා.  නීතියට පොලිස් නිලධාරීන් අදාළ නොවන්න විදිහක් නෑ..."
 
අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී ඇඹිලිපිටියේ ඝාතනයට සම්න්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජනතාව පළ කරන්නේ මෙවන් අදහසක්..

"......- රාජකාරිය හරියට කෙරෙනවානම් අනිවාර්යයෙන්ම වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ඕන. සාමාන්‍ය පුද්ගලයෙක් වුණානම් මෙලහට අත්අඩංගුවට අරගෙන ඉවරයි...."

"....- ඒ අයට එක විදිහකුත් අපිට එක විදිහකුත් එහෙම පොලිසියක් වැඩක් නැහැනේ....."

".....- පොලිස්පතිතුමා නිහඩයි අපිට කියන්න දෙයක් නෑ එයාගේ වැඩ ගැන..."

".....- පහළ ඉන්න පොලිස් නිලධාරියෝ හැමෝටම ඇඟිල්ල දික් කරනවා... ඒ වුණාට ඒ පොලිස්නිලධාරීන්ට නියෝග දෙන උසස් පොලිස් නිලධාරීන්ට කිසිම ඇක්ෂන් එකක් නැහැ....'

"....- පොලිස්පතිතුමා අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන..."

".....- හැමදෙනාම ඉල්ලනවා පොලිස්පතිතුමා මාරු කරන්න ඕන...'

සාදයට කඩා වැදුනු ඇඹිලිපිටිය පොලිසිය - පොලු වලින් පහරදී විසිනව හැවිරිදි එක් දරු පියෙක් ඉහළ මහලකින් බිමට තල්ලු කර මරා දැමු බව පවසමින් ප්‍රදේශයේ විරෝධතා තවදුරටත්  ක්‍රියාත්මකවෙයි.

මත්පැන් ඉල්ලූ පොලිසියට  මත්පැන් නොලැබීම නිසා අමනාප වූ පොලිස් නිලධාරීන්ගේ කීම අනුව ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සිවිල් ඇඳුමින් සැරසුණ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ දේපළ වලට හානිකර එහි සිටි කාන්තාවන් ළමයින් ඇතුළු පිරිසට පහර දී ඇතැයි නීතිඥ විජිත පුංචිහේවා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබුණි.

මැදියම් රැයේ ප්‍රහාරය සඳහා ඇඹිලිපිටිය පොලිසියේ නිල ඇඳුමින් සිටි නිලධාරීන් කීප දෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් කීප දෙනෙක් පැමිණ ඇති බවයි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.

නීතිපතිවරයා වෙනුවෙන් මරණ පරීක්ෂණයට පැමිණ සිටි රජයේ නීතිඥ දිලීප පීරිස් පැවසුවේ ඉහත කී මරණය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් සැකකරුවෙක් පමණක් බවයි.

ඒ අනුව සාක්ෂිවල සඳහන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ සෙසු පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අතර සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව,  කෘර වධහිංසා වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය යටතේ නඩු පවරන මෙන් නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ. සුමිත් ප්‍රසන්න ගේ බිරිය සහ අදාළ පොලිස් පහරදීමෙන් පිඩාවට පත් සිවිල් වැසියන් තිදෙනෙකු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී ප්‍රියලාල් සිරිසේන කියා සිටියේ වධහිංසා සිද්ධීන් වලට සම්බන්ධ පොලිස් නිලධාරින්ට එරෙහිව කෘර වධහිංසා පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා මැලිකමක් දක්වන බවයි.

ඇඹිලිපිටිය සිද්ධියේදී පොලිසියේ හැසිරීම පිළිබඳව සැක මතුව ඇති හෙයින්, තවදුරටත් දීර්ඝ විමර්ශනයක් සිදුකළ යුතු බව පොලිස්පතිවරයාට ලබාදුන් අතුරු වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ මූලික පරීක්ෂණයේදී පොලිසියේ හැසිරීම පිළිබඳව ගැටලූ සහගත තත්ත්වයන් පවතින බවටයි.

සිද්ධියේ සාක්ෂි සැඟවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවට එහි අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් චෝදනා කරනවා.  එමෙන්ම සෙසු සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාදවීම නිසා අනෙකුත් සාක්ෂි අධෛර්යමත් වන බව පවසමින් පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කෙරෙයි.

ඇඹිලිපිටිය සිද්ධිය පිළිබඳ පළවූ  වාර්තා කිහිපයක වීඩියෝ පහතින්...










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories