ඇමති චම්පිකගෙන් ප්‍රකාශයක් ලබාගන්න පොලීසියට නියෝග

Wednesday, 09 March 2016 - 14:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
රාජගිරියේදී සිදුවූ යතුරුපැදි අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය අද පොලීසියට නියෝග කළා.

එසේම අමාත්‍යවරයාගේ දුරකථන සංවාද පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙසද එහිදී නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ රථවාහන අධිකරණයේදී විභාගයට ගැනුනු අතර, අගතියට පත්  පාර්ශවය මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් තරුණයින් දෙදෙනෙකු අදාළ අනතුර දුටු බවට දිවුරුම් ප්‍රකාශ දෙකක්ද ඉදිරිපත් කළා.   

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.  

පිවිතුරු හෙළඋරුමය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු හෙළි කළා.

ඔහු කියා සිටියේ අනතුරෙන් පසු පොලීසියට ඉදිරිපත් වූ රියදුරා විදුලිබල අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන්නෙක් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රිය අනතුර සම්බන්ධයෙන් දක්වන අදහස් දේශපාලන පලිගැනීමක් බවට  චෝදනා එල්ල කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගද කියා සිටියේ.

පසුගිය මස 29 වනදා සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් සන්දීප් සම්පත් නැමති 24 හැවිරිදි තරුණයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories