විදුලි කප්පාදුව තවදුරටත්

Thursday, 17 March 2016 - 12:45

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
නොරොච්චෝලේ තාප බලාගාරයෙන් මෙගාවොට් 600 විදුලි ධාරිතාවක් මේ වනවිට ජාතික විදුලි පද්ධතියට එක්කර තිබීමට කටයුතු කළත්, තවමත් දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට විදුලි කප්පාදුව සිදුවනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට පැය හතහමාරකට වැඩි කාලයක් විදුලි කප්පාදු කිරීම් සිදුකර ඇති බවයි.

මේ අතර, විදුලි පාරිභෝගිකයින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමසීම සඳහා විදුලිබල මණ්ඩලය ලබාදී ඇති දුරකතන අංකවලට ඇමතුම් ලබාදුන්නද ඒවායින් ප්‍රතිචාර නොදක්වන බවයි.

මේ අතර, විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගාවොට් 600 විදුලි ධාරිතාවක් මේ වනවිට ජාතික පද්ධතියට එක්කර ඇති බවයි.

ඒ අනුව අද රාත්‍රිය වනවිට පැය 24 පුරා අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට හැකිවනු ඇති බවද එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

විදුලිබල අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අක්‍රියවීම නිසා මෙගාවොට් 500 ක පමණ අතිරික්ත විදුලි ඉල්ලූමක් පවතින බවයි.

නොරොච්චෝලේ තාප බලාගාරයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනවා.

මේ අතර, කොළඹ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමු කිහිපයකදීද විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

කොළඹ අද (17) කැඳවා තිබූ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මේ වනවිට සක්‍රීය වෙමින් පවතින බවයි.

මේ හේතුව නිසා තවදුරටත් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගියදා බියගම විදුලිබල පද්ධතියේ සිදුවූ පිපිරීම පිළිබඳව සැකයක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

මේ අතර, බියගම විදුලිබල පද්ධතියේ එම ට්‍රාන්ෆෝමරයේ ප්‍රතිසංස්කරණය පිළිබඳව යම් ප්‍රමාදවීමක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවද සොයා බැලීමක් සිදුකරන බවයි කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ.

ජනතා විමුක්ති පෙරමුණ අද එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ඔහු සඳහන් කළේ හදිසියේ විදුලි කප්පාදු කිරීම සම්බන්ධයෙන් රටට සහ පාර්ලිමේන්තුවට රජය පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.

නව සමසමාජ පක්ෂය කොළඹ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ එහි නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර මාෆියාවක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories