අමාත්‍යංශ ලේකම්ගේ ලිපිය ගැන ඇමති දැනුවත් නෑ

Thursday, 28 April 2016 - 21:06

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
ඒකාබද්ධ විපක්ෂය යන නම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය තමන් වෙත ලැබුණේ මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු යනුවෙන් සඳහන් කරමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ ගේ අත්සනින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කළා.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රවර්ධනය කිරීමෙන් මාධ්‍ය, නීතියේ ප්‍රතිබන්ධනයට හසුවිය හැකි බවයි.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කුමක්ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපනය කර තිබියදී එකී විපක්ෂයට අයත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කිසිදු සබඳතාවයකින් තොරව මෙම අර්ථ දැක්වීම සිදුකර ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නා වූ එක් දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වී ඇති බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හා ඇතැම් මාධ්‍යවේදීන් කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබලදෙමින් සිටින බවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබුණා.

කෙසේ වුවත් සිය එකතුවේ නම යොදා නොගන්නැයි පවසමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිකුත් කළ ලිපිය හෙළා දකින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවලදී එහි නියෝජිතයන් සඳහන් කළේ මෙවැනි නිවේදනයක් යොමු කිරීම මාධ්‍යට එල්ල කරන දැඩි තර්ජනයක් බවයි.   

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ආණ්ඩුව තම එකමුතුවේ නමට පවා මේ වනවිට බියවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් විමසීමක් කළා.  

එහිදී ඔහු කියා සිටියේ අර්බුදයට තුඩුදුන් මෙම නිවේදනය තමන්ට ලැබුණේ එය මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ලිපිය සිය ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමක් ලෙස තමන් දකින බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් නීතීඥ නිමල් බෝපගේගේ අත්සනින් යුතුව මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ ඊයේ පස්වරු එකට පමණයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි  ශීර්ෂය යොදාගනිමින් නිකුත් කර තිබූ එහි මාධ්‍ය නිවේදන යනුවෙන්ද සටහන්ව තිබුණා.  

මේ සම්බන්ධයෙන් අප ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ නිමල් බෝපගේගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම ලිපිය මගින් මාධ්‍ය වෙත කිසිදු වාරණයක් සිදුකර නොමැති අතර, එමෙන්ම මෙය තමන් විසින් පෞද්ගලිකව දැනුම්දුන් ලිපියක් බවයි.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories