ලෝක කම්කරු දිනය අදයි

Sunday, 01 May 2016 - 7:33

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
අද පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම්වලට සමගාමීව සංවිධාන කර තිබෙන පෙළපාලි හා රැස්වීම් වෙනුවෙන් පොලිසිය විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 4100 ක් සහ රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 2500 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මැයි දින රැස්වීම් සහ පෙළපාලි හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන නවතා තැබීම සීමා කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත අතර, ඊට එක්වීම සඳහා පාක්ෂිකයින් පෙළපාලි 03 කින් පැමිණීමට නියමිතයි.

ගාල්ල අධිවේගී පිවිසුම් මාර්ගයේ සිට, ගාල්ල - මහමෝදර මහරෝහල අසල සිට සහ කොළඹ - මාතර ගාලූ පාර ඔස්සේ එම පෙළපාලි ගාල්ල සමනල ක්‍රීඩාංගනයට පැමිණෙනු ඇති.

මේ හේතුවෙන් ගාල්ල නගරයට පිවිසෙන රථවාහන සහ ගාලූ කොටුව තුළට ගමන් ගන්නා රථවාහන සීමා කිරීමක් සිදුකෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය තම මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී සංවිධාන කර තිබෙනවා.

මාලිගාවත්ත මාර්ගය සහ ආමර් වීථියේ සිට පංචිකාවත්ත පාර, මරදාන පාලම හන්දිය, පුංචි බොරැල්ල, බොරැල්ල මංසන්ධිය, බේස්ලයින් මාර්ගය ඔස්සේ එක්සත් ජාතික පක්ෂය මැයි දින පෙළපාලි කැම්බල් පිටියට පැමිණීමට නියමිතයි.

එම මැයි රැලියට එක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය හයිඩ් පිටියේ සිට ටී.බී.ජයා මාවත, ගාමීණි හෝල් හරහා මරදාන පාලම හන්දියට පැමිණ බොරැල්ල ඔස්සේ කැම්බල් පිටියට පැමිණීමට නියමිතව තිබෙනවා.  

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය සංවිධාන කර තිබෙන්නේ කිරුලපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගනයේදීයි.

එහි මැයි දින පෙළපාලි ශාලිකා ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී උද්‍යාන මාවත, ඇල්විටිගල මාවත ඔස්සේ හයිලෙවල් බේස්ලයින් මංසන්ධියට පැමිණ ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගනයට පැමිණෙනු ඇති.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය කොළඹ - බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙන අතර, ඒ සඳහා එක්වීමට එහි සාමාජිකයින් පෙලපාලියෙන් පැමිණෙන්නේ දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගනයේ සිටයි.

විලියම් මංසන්ධිය, ගාලූපාර ඔස්සේ බම්බලපිටියේ ඩික්මන් පාරට පැමිණ හයිලෙවල් මාර්ගය ඔස්සේ පෙලපාලියෙන් එහි සාමාජිකයින් බී.ආර්.සී. පිටියට පැමිණෙනු ඇති.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය තම මැයි දින රැලිය සංවිධාන කර ඇත්තේ බැස්ටියන් පෙදෙසේයී.

ඔවුන්ගේ මැයි දින පෙලපාලිය රත්නම් ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී ජම්පටා වීථිය, විවේකානන්ද පාර, මහරුෆ් ජල කුළුණ හන්දිය ඔස්සේ මධ්‍ය වීථියට පැමිණ, සෝන්ඩර්ස් පෙදෙස, ශාන්ත බැස්ටියන් පෙදෙස, ඩයස් පෙදෙස, ගුණසිංහපුර,  ඕල්කට් මාවත ඔස්සේ දුම්රිය වාහන නැවතුම්පොල දක්වා පැමිණීමට නියමිතයි.

එමෙන්ම, දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැලිය යාපනය - රාමනාදන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි.

 එමෙන්ම, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මැයි රැලිය තලවකැලේ නගරයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ජාතික කම්කරු පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණේ සාමාජිකයින් එක් වනවා.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සංවිධාන කර තිබෙන පෙලපාලි හා රැස්වීම් සඳහා කොළඹ නගරයේ මාර්ග කිහිපයක් රථවාහන ගමනාගමනයට වසා තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පෙරවරු 9 යේ සිට පස්වරු 5 දක්වා ප්‍රදීපා මාවත, ජුම්මා මස්ජිඩ් හන්දියේ සිට සංඝරාජ වටරවුම දක්වා මාලිගාවත්ත මාර්ග දක්වා වසා තැබෙන අතර, පස්වරු එකේ සිට පස්වරු හය දක්වා බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ මංසන්ධියේ සිට බොරැල්ල හන්දිය දක්වාත්, නාරාහේන්පිට හන්දියේ සිට හයිලෙවල් මාර්ගය දක්වාත් වසා තැබෙනවා.

පස්වරු දෙකේ සිට පස්වරු හය දක්වා හයිලෙවල් මාර්ගයේ ස්ටැෆර්ඩ් කලර් ලයිට් සිට ඩික්මන් පාර කලර් ලයිට් දක්වා මාර්ගය වසා තැබෙනු ඇති.

මීට අමතරව පස්වරු එකේ සිට පස්වරු හතර දක්වා සරණංකර පාරත්, පස්වරු 12.30 සිට පස්වරු 3 දක්වා බේස්ලයින් පාර, සරණ පාර හන්දියේ සිට පරණ පාර ඔස්සේ ඇන්ඩර්සන් නිවාස සංකීර්ණය දක්වා මාර්ගයත් වසා තැබෙනවා.

මැයි දින පෙලපාලි හා රැලි හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන ගමනාගමන සීමා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හයිලෙවල් මාර්ගයේ, නුගේගොඩ මංසන්ධියේ සිට කිරුලපන ස්ටැෆර්ඞ් කලර් ලයිට් දක්වා දහවල් 12 සිට පස්වරු 6 දක්වා ගමනාගමන සීමා කෙරෙන අතර, මරදාන පාරේ, සංඝරාජ මාවතේ සහ පංචිකාවත්ත පාරේ රථවාහන ගමනාගමන සීමා කෙරෙන්නේ පෙරවරු 11 සිට පස්වරු 5 දක්වායී.

මීට අමතරව රොබට් ගුණවර්ධන මාවත, ආමර්වීථිය, සුමනතිස්ස මාවත, කොළඹ 12 - මධ්‍යම පාර, කිරුල පාර, තිඹිරිගස්යාය පාර, මිහිඳු මාවත, ගුණසිංහපුර හන්දිය, වේල්ල වීථිය, උසාවිය පාර, සාංචිවත්ත පාර සහ බැංකු මාවත හන්දිය වාහන ගමනාගමනයට සීමා කෙරෙනවා.

මැයි දින රැලි හා පෙලපාලි හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට මාර්ග කිහිපයක රථවාහන නවතා තැබීම තහනම් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සංඝරාජ මාවත, මාලිගාවත්ත පාර, ජයන්ත වීරසේකර මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාර, ආනන්ද රාජකරුණා මාවත, උද්‍යාන මාවත වාහන නවතා තැබීමට ඉඩ ලබානොදෙනු ඇති.

මීට අමතරව ආමර් වීථිය, බේස්ලයින් පාර, පාක් පාර, කිරුල පාර සහ හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලමේ සිට ඩික්මන් පාර හන්දිය දක්වා කොටසේද වාහන නතර කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.  

මැයි දින පෙලපාලි සහ රැස්වීම් හේතුවෙන් මගී ප්‍රවාහන බස් රථ භාවිත කළ යුතු විකල්ප මාර්ග පොලිසිය නම් කර තිබෙනවා.

ඒ අනුව මාර්ග 138 මහරගම, කොට්ටාව, හෝමාගම සහ හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා දුර ගමන් සේවා බස් රථද, මාර්ග 120, 125 හොරණ, කැස්බෑව, පිලියන්දල සහ ඉංගිරිය බස් රථද විකල්ප මාර්ග භාවිත කළ යුතු වනවා.

මීට අමතරව මාර්ග අංක 154 කිරිබත්ගොඩ - අඟුලාන බස් රථ සහ මාර්ග අංක 170, 190 බස් රථද විකල්ප මාර්ග භාවිත කළ යුතුයි.

අද දිනයේ අධීවේගී මාර්ගවල ගමන් ගන්නා රථවාහනවලින් ගාස්තු අය නොකරන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්.  ඕපනායක සඳහන් කළා.

ඒ අනුව අද පෙරවරු හයේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය ඇතුළත දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලින් ගාස්තු අයකිරීමක් සිදු නොකරනු ඇති.

එමෙන්ම මැයි දිනය සඳහා පැමිණෙන වාහන වම් පස තීරුව භාවිතා කළ යුතු බවත්, විවෘත රිය, හානිකර උපාංග හෝ අධික වේගයෙන් ගමන් කිරීම සඳහා එහිදී අවසර නොලැබෙන බවත් පොලීසිය අවධාරණය කළා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම ගාල්ල නගර සභා බල ප්‍රදේශය සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලූ සුරාසැල් අද වසා දැමෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories