FCID අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂට මාතරින් ඇප

Thursday, 12 May 2016 - 15:57

FCID+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4
මාතර - බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාපජක්ෂ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා.

ඒ ඔහු අද (12) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරු, රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදා හැරීමටයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැදවා තිබුණේ අදාළ ඉඩම රුපියල් මිලියන 50 ක් වැය කර මිලදී ගැනීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම නඩුව පවරා තිබෙනවා.

මීට පෙර නඩුවේ සෙසු සැකකරුවන් වන බැසිල් රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වන තිස්ස ගලප්පත්ති සහ මුදිත ජයකොඩි නමැත්තා ඇප මත මුදා හැරුණා.

අද උදෑසන අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහායි.

එහිදී ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය සැකකාර බැසිල් රාජපක්ෂගේ විදේශ ගමන් ද තහනම් කළා.

මීට අමතරව, සෑම මසකම ඉරුදින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස  නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුනොකරන ලෙසට ද අවවාද කර තිබෙනවා.

අද (12) දිනයේ නඩු විභාගය දැක බලා ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ කංචන විජේසේකර ද පැමිණ සිටියා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක සදහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ ආණ්ඩුවට එල්ල වන ජනතා විරෝධය වෙනතකට හැරවීම සඳහා බවයි.

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ දේශපාලනඥයන් දඩයම් කිරීමේ මෙවලම වන FICID  ය යොදා ගනිමින් සිදුකරන මර්දනය හෙළා දකින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ තුන්වන දිනටත් අද (12) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.

ඒ, සී.එස්.එන් නාලිකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය සදහා ප්‍රකාශයක් ලබාදීම සදහායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories