දිස්ත්‍රික්ක 21 ක දෙලක්ෂ 26 දහසකට පීඩා - 11 ක් මියගොස් 6 ක් අතුරුදන්

Tuesday, 17 May 2016 - 16:15

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+21+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+26+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F++-+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක විසි එකක පවුල් 53 170 කට අයත් පුද්ගලයන් දෙලක්ෂ 26 378 ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

පුද්ගල මරණ 11 ක් වාර්තාවී ඇති අතර, තවත් 6 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

19 දෙනෙකුට තුවාල සිදුවී නිවාස 114 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, පුද්ගලයන් එක්ලක්ෂ 37 606 දෙනෙකු අවතැන් කඳවුරුවල රැඳී සිටිනවා.

දිස්ත්‍රික්ක 9 කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම අද පස්වරු දෙකේ සිට ඉදිරි පැය 24 ක කාලයක් සඳහා ද දීර්ඝ කෙරුණා.

ඒ අනුව බදුල්ල, මොණරාගල, නුවර,  රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

මහනුවර - කඩුගන්නාව - ඉලූක්වත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් 6 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද දහවල් සොයාගනු ලැබුවා.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම නාය යාමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එහිදීි අනතුරට ලක්වුණේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි 4 දෙනෙක්.    

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 267.8 මහඉලූප්පල්ලම ප්‍රදේශයට ලැබී තිබෙනවා.

අනුරාධපුරයට ද මිලිමීටර් 192.5ක වර්ෂාපතනයක් ඇද හැලූණා.   

මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 න් ජලාශ 15 ක වාන් දොරටු විවෘත කර තිබෙනවා.   

ජල ගැලීම් හේතුවෙන් පුත්තලම - තබ්බෝව ප්‍රදේශයේ සිරවී සිටින පුද්ගලයින් 200 ක් පමණ මුදාගැනීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි.

ඒ, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ නාවික හමුදා යාත්‍රා උපයෝගී කරගනිමින්.

තබ්බෝව ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමඟ ජලාශයේ වාන් දොරටු 21 න් 15 ක් විවෘත කෙරුණා.

ඉතිරි වාන් දොරටු 6 විවෘත කිරීමට නොහැකි වූයේ එහි ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මේ නිසා වාන් දොරටුවලට ඉහළින් අඩි 3 ක් උසට ජලය පිටාර ගැලූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එලෙස ජලය පිටාර ගැලීම සමඟ ප්‍රදේශයේ බොහෝ ස්ථාන ජලයෙන් යටවුණා.

පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මේ නිසා පුත්තලම - තම්බපන්නි එක ජනපදයේ පවුල් 70 කට අයත් පුද්ගලයින් 211 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත්වීමට  නොහැකිව සිරවූ බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ඉන් 60 දෙනෙකු ගුවන් හමුදාව විසින් මුදාගෙන ඇති අතර ඉතිරි පිරිස තවදුරටත් කොටුවී සිටිනවා.   

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැළණි සහ කළු ගංඟා තවදුරටත් පිටාර ගලමින් පවතින අතර, කැළණි ගෙඟ් පහළ නිම්න ප්‍රදේශයේ තවදුරටත් ජලය වැඩිවෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි කියා සිටියේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින තද වැසි හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයෙන් වාන් දොරටු දෙකක් සම්පූර්ණයෙන් විවෘත කර තිබෙනවා.

ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ මෙම ජලය කැළණි ගඟට එකතුවීමත් සමඟ එහි ජල මට්ටම තවත් ඉහළ යා හැකි බවයි.

මේ අතර කැළණි ගඟ  පිටාර ගැලීම හේතුවෙන් වසර 29 කට පසු කඩුවෙල නගරයද අද පස්වරුවේ ජලයෙන් යටවුණා.

එමෙන්ම කැළණිමුල්ල, සේදවත්ත අංගොඩ, කොහිලවත්ත, වැල්ලම්පිටිය,  කොටිකාවත්ත, අඹතලේ මෙන්ම වැල්ලම්පිටියේ සිට කඩුවෙල දක්වා ලෝ ලෙවල් මාර්ගයට යාබද අතුරු මාර්ගද ජලයෙන් යටවී තිබෙනවා.  

බියගම - සියඹලාපේ මංසන්ධියේ සිට කඩුවෙල සහ කැළණිය දක්වා වූ මාර්ගයේ ගමනාගමන කටයුතු ද මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර, මල්වාන ප්‍රදේශයේද මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කැළනි ගඟ පිටාර ගැලීම නිසා බියගම - කැළණිය සහ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය හංවැල්ල සිට ඇඹුල්ගම දක්වා කොටසද තාවකාලිකව වසා දමා තිබෙනවා.

කඩුවෙල - වැලිවිට අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීම සහ පිටවීම අද නතර කෙරුණේ අවට ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන්.

කෙසේ වෙතත් කොළඹ - පිටත අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට  කඩවත දක්වා කොටසේ ගාස්තු අය කිරීමකින් තොරව ධාවනය කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය රියදුරන්ට අවසර ලබාදුන්නා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට දිනයේදී වයඹ පළාතේ සියලූම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ සඳහන් කළා.

එමෙන්ම මහනුවර නගරයේ පිහිටි ඞී.එස්. සේනානායක මහා විද්‍යාලය නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට තීරණය කෙරුණේ නායයෑමේ අවදානමක් හේතුවෙන්.

මේ අතර මහනුවර ධර්මරාජ / ඩී එස් සේනානායක / මහාමායා / පුෂ්පධාන සහ  විද්‍යාර්ථ ප්‍රාථමික විද්‍යාල හෙට සහ අනිද්දා වසා තැබීමට තීරණය වී තිබෙනවා.

ඒ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්.

එප්පාවල - මහවැවේ වැව් බැම්ම කඩාගෙන යාම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ තලාව සහ තඹුත්තේගම කොටස ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය ගල්ගමුව සහ අනුරාධපුර දුම්රිය ස්ථානවලට සීමා කර තිබෙනවා.

එසේම උඩරට දුම්රිය මාර්ගයේද ධාවන කටයුතුවලට ගස් කඩාවැටීම හේතුවෙන් බාධා මතුවුණා. පවතින තත්ත්වය මත බදුල්ල සහ තලෙයිමන්නාරම දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.  

යාපනය සහ කන්කසන්තුරේ බලා අද රාත්‍රියේ ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය ධාවනය වන්නේ ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා පමණයි.

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය - මීපිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබැසීමකට ලක්වීම නිසා එහි ගමනාගමන කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.  

එසේම ගාලූ පාරේ  හික්කඩුව සහ අම්බලන්ගොඩ අතර ප්‍රදේශයේදී මුහුදු රළ ප්‍රධාන මාර්ගයට පැමිණීම නිසා ගාලූ පාරේ එක් මං තීරුවක් වසා දැමුණා.

මේ අතර පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවල ජනතාව පවසන්නේ තමන්ට මෙතෙක් කිසිදු සහනාධාරයක් නොලැබුණු බවයි.   

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ දිවයිනට බලපෑ අඩුපීඩන කලාපය දැන් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර ඇති බවයි.

කෙසේ වෙතත් එහි බලපෑම හේතුවෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි වනවා.

ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories