අරණායක නායයෑමෙන් 144 ක් අතුරුදන් - තවත් තැන් 2ක නායයෑමේ අවදානමක්

Thursday, 19 May 2016 - 16:40

%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+144+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අරණායක - සාමසර කන්ද නායයෑමෙන් පුද්ගලයින් 144 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

අරණායක ප්‍රාදේශිය ලේකම් සාම් ෆයිසර් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නායයෑමෙන් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

නායයෑම සිදුවූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් හරහා  එම තොරතුරු ලබාගත් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර සාමසර කන්ද නායයෑමෙන් අතුරුදන්වූ පුද්ගලයින්ගේ මළ සිරුරු 17 ක් මේ වනවිට සොයාගෙන තිබෙනවා.

දෙවන දිනටත් අද උදෑසන මෙහෙයුම් ආරම්භ කළ අතර ඊට ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් බාධා එල්ල වුණා.

කෙසේ වෙතත් අඛන්ඩව මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි එම මෙහෙයුම් කටයුතු භාර යුද හමුදාවේ බස්නාහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර සොයාගත් මළ සිරුරුවලින් හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ අවසන් කටයුතු හෙට දිනයේදී සිදුකිරීමට නියමිතයි.

හත්ගම්පොල පොදු සුසාන භූමියේ සමූහ ලෙස එම භූමදාන කටයුතු  සිදු කෙරෙන බවයි අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව තීරණය කර ඇත්තේ.

සාමසර කන්ද නායයෑම හේතුවෙන් අවතැන්වූ පුද්ගලයින් 1700 ක් පමණ පිරිසක් මේ වනවිට අරණායක ප්‍රදේශයේ විහාරස්ථාන සහ පාසල් ඇතුලූ ස්ථාන 9 ක රඳවා සිටිනවා.

ඔවුන්ට අවශ්‍ය කරන සියලූම පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර නායගිය ස්ථානය නැරඹීම සඳහා පිට පළාත්වල ජනතාවට එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසට පොලීසිය ඉල්ලීමක් කළා.

ඒ, අදාළ මෙහෙයුම් කටයුතු බාධාවීම සහ එය අනතුරුදායක වීම හේතුවෙන්.

එමෙන්ම අරණායක - ගංතුන - උඩගම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් 200 දෙනෙකු පමණ  අද ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ අතර අරණායක - අම්බලකන්ද - බැලූම්ගල කන්දේ නායයෑමේ අවදානමක් හේතුවෙන් ද තවත් පවුල් 80 ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවටයි වාර්තාවන්නේ.

කෑගල්ල - බුලත්කොහුපිටිය - කළුපහනවත්ත - අරන්දර ප්‍රදේශයේ පෙරේදා සිදුවූ නායයෑමෙන් අතුරුදන්වූ පුද්ගලයින් 16 දෙනාගෙන් 14කගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

තවත් දෙදෙනෙකුගේ සිරුරු සොයා මෙහෙයුම් සිදුකරන බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

පෙරේදා රාත්‍රියේ වතු නිවාස 10 කින් 6 ක් මෙලෙස නායයෑමට ලක්වූ  අතර, එහිදී  පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන් වී තිබුණා.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයාමේ ස්ථාන 84 ක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායයාම් පර්යේෂණ හා අවදානම් කලාප අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර කියා සිටියේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පදිංචි ජනතාව තවදුරටත් නායයාම් පිළිබදව දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බවයි.

තම ඥාතීන් හිතමිතුරන් අතුරුදන්වීමෙන් අසරණ වී සිටින බොහෝ පිරිසක් අරණායක සාමසරකන්ද ප්‍රදේශයේදී අපට හමු වුණා.

නායයෑමෙන් විනාශ වුණු එක් තරුණයෙකුගේ නිවසද යුදහමුදාවේ විශේෂ පරීක්ෂාවට ලක්වුණා.

නමුත් මේ වන තෙක් ඔහුගේ ඥාතීන් පිළිබඳ කිසිඳු තොරතුරක් අනාවරණ වී නැහැ.

මේ අතර තම ස්වාමියා සොයාගත නොහැකිවීමෙන් ලතවෙන සුනඛයෙක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති තුළින් අපි ඔබට තොරතුරු ගෙනආවා.

එම ස්වාමියා ඇතුළු පිරිස අවතැන් කඳවුරක සිටියදී සුනඛයාට හමු වූ මොහොත ද ඉතා සංවේදී අවස්ථාවක් උනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories