කෝප් ගැන අගමැතිට පැමිණිල්ලක්

Wednesday, 15 June 2016 - 8:08

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා මහබැංකුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව කටයුතු කරන ආකාරය පිළිබදව එක්සත් ජාතික පෙරමුණු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ පැමිණිලි කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සදහන් කළේ මහබැංකුව සතු රහස්‍ය දත්ත බාහිර පාර්ශවයක් වෙත නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැහැදිලිවම නිශ්චය කර තිබියදී කෝප් කමිටුව එම නිර්දේශ උල්ලංගණය කර ඇති බවට මෙම අමාත්‍යවරුන් චෝදනා කර ඇති බවයි.

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා හමුවූ අමාත්‍යවරුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඊට අදාළ  ලිපි ලේඛන ද ඉදිරිපත් කරමින්.

2004 වසරේ පෙබරවාරි 12 වන දින එවකට නීතිපති කේ.සී. කමල සබේසන් වෙනුවෙන් ලිපියක් නිකුත් කරන රජයේ නීතිඥ රජිව් ගුණතිලක විසින් මහබැංකුව සතු රහස්‍ය දත්ත වෙනත් බාහිර පාර්ශවයක් විසින් ගත යුතු ආකාරය පිළිබද ඉතාම නිරවුල්ව නිර්නායක ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකු පරිශ්‍රය තුළ දී මහබැංකුව සතු රහස්‍ය දත්ත  ඕනෑම අවස්ථාවකදී නීතිපතිවරයාට ලබාගත හැකි බව එම ලිපියේ පැහැදිලිවම සදහන් වනවා.

ශ්‍රී ලංකා මහබැංකුව සතු රහස්‍ය දත්ත ලබා ගැනීමට අදාළව හිටපු නීතිපතිවරයා විසින් දැක්වූ ක්‍රමවේදය යළි සිහි ගන්වමින් නියෝජ්‍ය මහබැංකු අධිපති පී සමරසිරි වත්මන් නීතිපති ගාමිණී විජේසිංහට මේ මස 3 වන දා යොමු කළ ලිපිය ද අමාත්‍යවරුන් අගමැතිවරයාට ඉදිරිපත් කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කළේ.  

නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් කෝප් කමිටුව කටයුතු කරන බවට මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිස අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

මේ නිසා මේ සඳහා ඍජුවම මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මෙම අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්ලමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ

කෝප් කමිටුවට තොරතුරු ලබාදීම මහ බැංකුව ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය නීති පනත් අනුව තමන් සතු තොරතුරු සහ ලිපි ලේඛන විගණන කටයුතු සඳහා සැපයීමට මහ බැංකුව බැඳී සිටින බවයි එහි සඳහන් වන්නේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories