වැට් විරෝධය අම්පාරට

Thursday, 30 June 2016 - 13:35

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7
තොග හා සිල්ලර වෙළඳාම මත පනවා ඇති වැට් බද්ද ව්‍යාපාරිකයින්ට අසාධාරණ ලෙස බලපා ඇති බවට චෝදනා කරමින් අද අම්පාර නගරයේ විරෝධතා පැවැත්වුණා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ වෙළඳුන් බහුතරයක් තම ව්‍යාපාරික ස්ථාන වසා දමමින් මෙම විරෝධතාවට එක්ව සිටි බවයි.

වැට් බද්දට එරෙහිව ව්‍යාපාරිකයන්  අම්පාර රීගල් මංසන්ධියෙන් අද පෙරවරුවේ විරෝධතා පා ගමන ආරම්භ කළ පසුව නගරයේ පිහිටි ඔරලෝසු කණුව දක්වා පැමිණ යළිත් රීගල් මංසන්ධිය දක්වා පැමිණියා.

මොවුන් මෙම පා ගමනේ නිරතවන අතරතුර නගරයේ විවෘතව පවතින වෙළඳසැල් ඉදිරිපිට රතිඤ්ඤා දල්වමින් හූ හඩ නගමින් හැසිරුනු ආකාරය දක්නට ලැබුණු බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.   

අම්පාර වෙළෙඳ සංගමය චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු විසින් අම්පාර නගරයේ වෙළෙඳ සැල් අද දිනයේ විවෘතව තබන ලෙසට ඊයේ දිනයේ බලපෑම් කර තිබූ බවයි.

නමුත් අම්පාර වෙළෙඳ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ වෙළෙඳ සැල් වසා දමා විරෝධතාව සඳහා අම්පාර රීගල් මංසන්ධියට පැමිණියා.

එහිදී නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද රීගල් මංසන්ධියට පැමිණ සිටි අතර වෙළෙඳ සංගමය ඇතුළු පිරිස වැට් බදු ඉහළ දැමීමට විරෝධය පළ කර අතර මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස වෙළෙඳ සංගමයට විරෝධය පළ කළා.

වැට් බද්දට එරෙහිව අනුරාධපුරය, බදුල්ල, බණ්ඩාරවෙල, කටුගස්තොට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය, කිරිබත්ගොඩ, මාකොළ, මාවරමණ්ඩිය, මහර, කඩවත නගරවලද ඊයේ දිනයේ විරෝධතා පැවැත්වුණා.

ඊට අමතරව පසුගිය දිනවල ගාල්ල, මාතර, මහරගම සහ ගම්පහ නගරවල ද වැට් විරෝධතා පවත්වනු ලැබුවා.







ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල / ප්‍රේමදාස අරඹේගෙදර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories