Update : හිටපු ඇමති බැසිල් රාජපක්ෂට ඇප

Monday, 08 August 2016 - 11:36

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල නියෝග කළා.

ඒ, මොවුන්ට ඇප  ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් අද කළ දැනුම්දීමට අනුවයි.

ඒ අනුව එක් අයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂ 43ක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය බැසිල් රාජපක්ෂ සහ එහි හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පසුගිය ජුලි මස 18 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා.


Update : Monday, August 8, 2016 :3.15
....................................................................................

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවකට ඇප ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය අද කඩුවෙල  මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නා.

ඒ, මොවුන් ගොනුකළ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත අද මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් හමුවේ කැදවූ අවස්ථාවේදියි.

මොවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය අද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතිශෝධනය කළා.

ඒ අනුව මොවුන්ට ඇප නියම කරන ලෙස දුරකථන සහ ෆැක්ස් මගින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නේ.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂ 43ක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය බැසිල් රාජපක්ෂ සහ එහි හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජූලි මස 18 වැනිදායි.

පසුව මොවුන් කිහිප අවස්ථාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා තමන් රිමාන්ඞ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධිත ඇප අයදුම්පතක්  යොමු කළේ ඉන් අනතුරුවයි.

මේ අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ගිලන් රථයකින් මේ වනවිට අධිකරණ භූමියට පැමිණ ඇති බවයි.

මේ අතර රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථාන ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවනු ලැබුවා.

එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ  සිද්ධියට අදාළව විමර්ශන මේ වනවිට අවසන් අදියරයේ පවතින බවයි.

ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුලූ හතරදෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව මෙම නඩුව ඔක්තෝම්බර් මස 31 වනදා යළි කැඳවනු ඇති.

රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක් ලබාගෙන එය පෞද්ගලික ගිණුමට බැර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories