කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය හෙළිවේ

Thursday, 25 August 2016 - 15:58

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් පැහැර ගෙන පැය 4 ක් තුළ, හිසට පහරදී ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) කෑගල්ල ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණේ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්නගේ ප්‍රධානත්වයෙන්.

එහිදී හෙළි වුණේ පොල්ලකින් සිදුකළ පහරදීමකින් හිසෙහි අභ්‍යන්තරයට රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

හිසෙහි ස්ථාන දෙකකට එම පහරදීම සිදුකර ඇති අතර එමගින් හිස් කබල පුපුරා ගොස් ඇති බවට ද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ දිනයේ රාත්‍රී 9 ට පමණ පෙර ආහාර ගෙන ඇති බවත් ආහාර ගෙන පැය හතරක පමණ කාලය ඇතුළත මෙම ඝාතනය සිදුව ඇති බවට ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණ වුණා.

මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන ව්‍යාපාරිකයින් 5 දෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද නියෝගයක් ලබාදුන්නා.

ආගමන විගමන පාලකට සහ පොලිස් බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයාට මෙම නියෝගය ලබාදුන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට මෙම ඝාතනය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් අධිකරණයට දන්වා සිටියේ ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් පස්දෙනෙකු පිළිබද පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් විදේශ ගතවීමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන් පැහැර ගැනීමට ලක්වූයේ පසුගිය 21 වන ඉරිදා රාත්‍රියේයි.

ඔහු මංගල සාදයකට සහභාගි වී සිය මෝටර් රථයෙන් නිවස අසලට පැමිණ බිරිද නිවසෙහි ගේට්ටුව විවෘත කරන තෙක් රැදී සිටි අවස්ථාවේදී තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් මෙම පැහැර ගැනීම සිදුකර තිබුණා.

පසුව කෑගල්ල ප්‍රදේශයෙන් ලැබුණු දුරකථන ඇමතුමකින්  ව්‍යාපාරිකයාගේ පියාට පවසා තිබුණේ තම පුත්‍රයා නිදහස් කිරීමට නම් රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් ලබාදෙන ලෙසටයි.

කෙසේ වෙතත්, මාවනැල්ල - හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට පොලිසියට ඊයේ තොරතුරක් ලැබුණා.

ඒ අනුව සිදුකළ සොයා බැලීමෙන් අනතුරුවයි පැහැර ගත් ව්‍යාපාරිකයා බවට සැකකෙරෙන මෙම මළ සිරුර හමුවුණේ.

මළ  සිරුර හමුවන අවස්ථාවේදී එය බෙහෙවින් ඉදිමී දුගද හමන තත්ත්වයක තිබූ බව සදහන්.

පවුලේ ඥාතීන් පැමිණ දේහය හදුනා ගනු ලැබුවා. ඉන් අනතුරුවයි පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණේ.       

ඝාතනයට ලක්වූ කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන්ගේ අවසන් කටයුතු අද මාලිගාවත්ත - මුස්ලිම් දේවස්ථාන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබුණා.






ඡායාරූප - හෙම්මාතගම සමන් විජය බණ්ඩාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories