හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනාට ඇප

Friday, 30 September 2016 - 13:07

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇතුළු 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක මුදලක් අලාභ සිදුකිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

අධිකරණය ලබාදී තිබූ සිතාසියකට අනුව නඩුවේ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයන්ත කොළඹගේ, අද්මිරාල් ජයන්ත පෙරේරා, මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු, නිමල් බෝපගේ සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අධිකරණය හමුවේ පෙනී සිටියා.

කෙසේ වෙතත්, රටින් පිටව ගොස් සිටින නඩුවේ දෙවන සැකකාරිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයසූරිය වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටි අතර, ඇය මේ වන විට අසනීපව නවසීලන්තයේ ප්‍රතිකාර ලබන බවයි ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් ද ඇතුළුව 100කට ආසන්න නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීම ද විශේෂත්වයක් වුණා.

නඩුව කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම හෝ එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් පනතට අනුකූලව මෙම නඩුව පවත්වාගෙන යන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිත දැනුම් දීමක් සිදුකර නොමැති බවට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මූලික විරෝධතාවයක් මතු කළ බවයි නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත සදහන් කළේ.

අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජානක බණ්ඩාරගේ ඉල්ලීමකට අනුව අධිකරණ කටයුතු පැයක පමණ කාලයක් කල් තබනු ලැබුවා.

නඩුව යලි කැදවූ අවස්ථාවේදී ඔහු මීට පෙර මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් උපුටා දක්වමින් කියා සිටියේ මෙම නඩුව පැවරූ ආකාරය නීත්‍යානුකූල බවයි. එම තර්කය පදනම් විරහිත බවට විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන් අතර, මූලික විරෝධතාව සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී කරුණු ඉදිරිපත් කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම දැනුම් දුන්නේ.

එහිදී විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන්ට ඇප ලබා නොදී ඔවුන් අවවාද කර මුදා හරින ලෙසයි. එහෙත් ඊට රජයේ නීතිඥවරයා විරෝධය පළ කළ අතර, මෙවැනි නඩුවක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු අධිකරණ සම්ප්‍රදායන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බවත්, දැඩි ඇප කොන්දේසි මත ඇප ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළා.

එහිදී විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇප ලබාදීමේදී සැකකරුවන්ට විදෙස්ගත වීම තහනම් නොකරන ලෙසයි.

ඊට ද විරෝධය පළ කළ රජයේ නීතිඥයා ප්‍රශ්න කළේ දැනටමත් නඩුවේ එක් සැකකරුවෙකු අධිකරණයේ පෙනී නොසිටින අවස්ථාවක ඉදිරියේදී සෙසු සැකකරුවන් ද අධිකරණය මඟ හැර සිටිය හොත් එහි වගකීම පැවරෙන්නේ කාට ද යන්නයි.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළා.

සැකකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කළ විනිසුරුවරයා විදෙස්ගතවීමට අවශ්‍ය නම් ඒ සඳහා මෝසමක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නා.

නඩු විභාගය අවසන්වීමෙන් පසු පිටතට පැමිණි ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැලකී සිටියා.

නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories