ආබාධිත රණවිරුවන්ට, සේවා විශ්‍රාම වැටුප පෙබරවාරියේ සිට - විරෝධතාවයට කඳුළු ගෑස්

Monday, 07 November 2016 - 19:00

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+-+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A
සේවා කාලය වසර 12ට අඩු ආබාධිත විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ට සේවා විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ, රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගයේ නියෝජිතයින් පිරිසක් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව විශ්‍රාමික ආබාධිත රණවිරුවන් ආරම්භ කර තිබූ විරෝධතාවය ද අද අවසන් කෙරුණා.

පසුගිය දින කිහිපය මුළුල්ලේ විරෝධතාවයේ නිරතව සිටි ආබාධිත රණවිරුවන් අද උදෑසන ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණියේ සිවිල් සංවිධාන නියෝජිතයින් සහ භික්ෂු සංවිධාන කිහිපයක් ද සමඟයි.

එහිදී විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පෙළපාලියක නිරත වීමේ අරමුණින් සිටින බව පවසමින් කොළඹ කොටුව පොලීසිය එය වළක්වාලීමට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියා.

එය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රතික්ෂේප කළේ විරෝධතාව හේතුවෙන් මහජන පීඩාවක් ඇති වන්නේ නම් එය වැළැක්වීමේ බලය පොලීසියට ඇති බව පවසමින්.

කෙසේ වෙතත් පසුව විරෝධතාවයේ නිරත පිරිස අතරින් 6 දෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් සඳහා පොලීසිය ඉඩ ලබාදුන්නා.

ඒ අනුව ඔවුන් අමාත්‍යාංශයේ සාකච්ඡාව අතරතුර පැයක පමණ කාලයක් ගාලුමුවදොරපිටියේ රැදී සිටි සෙසු විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණියා.

ඒත් සමඟ පොලීසිය අධි පීඩන ජල ප්‍රහාර විරෝධතාකරුවන් දෙසට එල්ල කළ අතර, එයින් නොනැවතුණු විරෝධතාකරුවන් ඉදිරියටම පැමිණියා.

එම ප්‍රහාරය අතරතුර විරෝධතාවයට එක්ව සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, පැය දෙක හමාරකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති, සේවා විශ්‍රාම වැටුප ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදුන් ලිඛිත එකඟතාවය ප්‍රකාශයට පත් කළා.

පසුව කොළඹ කොටුව ආශ්‍රිතව උපවාසයේ නිරතව සිටි ආබාධිත රණවිරුවන් සිටින ස්ථානයට පැමිණි සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයන් තමන් ලබා ගත් ප්‍රතිඵල පිළිබද පැහැදිලි කළා.

 මේ අතර, වසර 12ක සේවා කාලය අවසන් කළ විශ්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ්‍රාම වැටුප, වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගත් ආබාධිත රණවිරුවන්ට ද ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එම තීරණය සතියක කාලයක් උපවාසයේ නිරත වූ ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවැති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් ඔවුන්ට ලිඛිතව දැනුම් දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ආබාධිත රණවිරුවන්ට මෙම සේවා විශ්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අනුමැතිය හිමි වීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සේවා විශ්‍රාම වැටුප ලබාදෙනු ඇති.

හමුදා නීතියට අනුව ආබාධිත රණවිරුවෙකුට සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කීමට සෙසු නිළයන් වසර 12ක සේවා කාලයක් ද, නිලධාරීන් වසර 10ක සේවා කාලයක් ද සපුරා තිබිය යුතුයි.

කෙසේ වෙතත්, සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම රෙගුලාසි සංශෝධනය කිරීමෙන් මෙම සේවා විශ්‍රාම වැටුප ආබාධිත රණවිරුවන්ට ද ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories