සෑම රටක් සමඟම සමානව කටයුතු කිරීමට සූදානම් - ට්‍රම්ප් කියයි

Wednesday, 09 November 2016 - 19:12

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස අද තේරී පත්වුණේ වසර 08 ක ඩිමොක්‍රටික් පාලනය බිඳ දමමින්.

ඊයේ පැවති ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ඩොනල්ඞ් ට්‍රම්ප් ඡන්ද ආසන 538 න් ආසන 289 ක් ලබා ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද ආසන 218 ක් පමණයි.

ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමට නම් අපේක්ෂකයෙකු ඡන්ද ආසන 270 ක් ලබාගත යුතු වනවා.

අද ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන ජනවාරි මස 20 වනදා ධවල මන්දිරයට පිවිසෙන්නේ ලොව බලවත්ම රාජ්‍ය නායකයා ලෙසින්.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් අද අලූයම ආරම්භ කෙරුණු අතර, වැඩි දෙනාගේ අවධානය යොමුවු ෆ්ලොරීඩා, ජෝර්ජියා, නෝර්ත් කැරොලයිනා, ඔහායෝ යන ප්‍රාන්ත ජය ගනිමින් ඩොනල්ඞ් ට්‍රම්ප් ක්‍රමයෙන් ජනාධිපති සටනේ ඉදිරියට පැමිණියා.

කොලරාඩෝ, නෙවාඩා, වර්ජිනියා ප්‍රාන්තවල ජය හිලරි ක්ලින්ටන් හිමිකරගත්තද එය ට්‍රම්ප් අභිබවා යාමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවේදී ඡන්ද ආසන 258 ක් ලබා සිටි ට්‍රම්ප් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ පෙන්සල්වේනියා ප්‍රාන්තය ඵෙතිහාසික ලෙස ජයගනිමින්.

එම ප්‍රාන්තය රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති අපේක්ෂකයෙකු ජයගත්තේ වසර 28 කට පසුව වීම විශේෂත්වයක්.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව පිරිමි පුද්ගලයින් 53% ක් ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඡන්දය භාවිත කර තිබූ අතර, කාන්තාවන් 54% කගේ ඡන්දය හිමිව තිබුණේ හිලරි ක්ලින්ටයි.

තරුණයින් ඇතුළු අවුරුදු 44 දක්වා වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයන්ගෙන් බහුතරයකගේ කැමැත්ත හිලරි ක්ලින්ටන් දිනා ගනිද්දී, වයස අවුරුදු 45 ත්, 64 ත් අතර සහ වයෝවෘද්ධ ජනතාවගේ බහුතරයක් ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඡුන්දය භාවිත කර තිබුණා.

ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් ඉදිකරන බවට ප්‍රකාශ කළ ඩොනල්ඞ් ට්‍රම්ප් මැතිවරණ කාලසීමාවේදී කතාබහට ලක්වුණේ සංක්‍රමණිකයින් ඇමරිකාවෙන් එලවා දැමිය යුතු බවට ප්‍රකාශ කිරීම හේතුවෙන්.

ඒ අනුව ට්‍රම්ප්ගේ එම ප්‍රකාශ හේතුවෙන් කිසිදු සංක්‍රමණික කණ්ඩායමක් ඔහුට ඡන්දය භාවිත කර තිබුණේ නැහැ.

සුදු ජාතිකයන්ගෙන් 58% ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, හිලරි ක්ලින්ටන්ට ඡන්දය ලබාදී තිබුණේ 37% ක් පමණයි.

කළු ජාතිකයින්ගෙන් 88% කගේ කැමැත්ත හිලරි ක්ලින්ටන් විසින් දිනාගෙන තිබුණා.

ආසියානුවන්ගෙන් 65% කගේ ඡන්දය හිලරි ක්ලින්ටන් දිනාගෙන තිබුණත්, ඩොනල්ඞ් ට්‍රම්ප්ට හිමිවුණේ 29% කගේ ඡන්දය පමණයි.

ඇමරිකානු මාධ්‍යවල පූර්ව සමීක්ෂණ වාර්තා අසත්‍යයක් බවට පත්කරමින් පරාජයට පත් වූ හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂ මූලස්ථානයේ රැඳී සිටි සිය පාක්ෂිකයින් මුණගැසීමට හෝ පැමිණියේ නැහැ.

එහෙත් හිලරිගේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් නිව්යෝක් නුවරට රැස්ව සිටි ඇයගේ ආධාරකරුවන්ට ක්ලින්ටන්ගේ ප්‍රචාරක ප්‍රධානියා සිදුකළ ප්‍රකාශයක් විදෙස් මාධ්‍යයන්ගේ අවධානය යොමුවුණා.

ජනාධිපතිවරණ සටන ජය ගැනීමෙන් අනතුරුව ඩොනල්ඞ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ මූලස්ථානයට පැමිණියේ එහි රැස්ව සිටි ආධාරකරුවන්ගේ පී‍්‍රතිඝෝෂා මධ්‍යයේයී.

එහිදී ඔහු කියා සිටියේ තමා දැන් සියලුම ඇමරිකානුවන්ගේ ජනාධිපතිවරයා බවයි.

ලොව බලවත්ම රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත්වු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් මේ වනවිට 70 වන වියේ පසුවනවා.

ඔහු රූපවාහිණි නිෂ්පාදකවරයෙකු මෙන්ම, රියැලිටි වැඩසටහන් නිවේදකයෙකු ලෙස ජනප්‍රිය වී තිබුණා.

නිව්යෝක් නගරයේ උපත ලැබූ ට්‍රම්ප් ආර්ථික විද්‍යාව හා සම්බන්ධ උපාධිධාරියෙකුද වනවා.

දෙවරක් විවාහ වී සිටි ට්‍රම්ප්ගේ වර්තමාන බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් ස්ලෝවේනියා ඇමරිකානු සම්භවයක් සහිත නිරූපිකාවක්.

ඇමරිකාවේ 06 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් ක්වින්සිගේ බිරිඳගෙන් පසු විදේශීය සම්භවයක් සහිත කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති ආර්යාව වන්නේද වසර 187 කට පසුව වීම විශේෂත්වයක්.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම හරහා අන්තර්ජාලයට එක් කළ ප්‍රථම පණිවුඩය වෙත බොහෝදෙනෙකුගේ සුවිශේෂ අවධානයක් යොමු වූවා.

අදාළ පණිවුඩයේ සියල්ලන්ට සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පෙරටත් වඩා සැවොම එකතු වෙමු යන්නයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මතකයෙන් ඉවත්කළ පුද්ගලයන් යලි කිසිදු දිනක අමතක නොකරන බවයි.

එම පණිවුඩය පහතින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories