නාවික හමුදාපතිට එරෙහිව අදත් විරෝධතා

Wednesday, 14 December 2016 - 18:26

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
හම්බන්තොට වරාය පරිශ්‍රයේදී හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න පහරදීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනමාධ්‍ය සංවිධාන විරෝධතා ව්‍යාපාර සහ මාධ්‍ය හමු සංවිධාන කර තිබුණා.

හම්බන්තොට - මාගම්පුර වරායේ සේවකයින්ගේ සත්‍යග්‍රහය අතරතුර නාවික හමුදාවේ මැදිහත්වීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුයේ පසුගිය 10 වනදායී.

එම සිද්ධිය වාර්තා කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න පහරදුන්නේ පරුෂ වචනයෙන්ද බැන වදිමින්.

හිරු මාධ්‍යවේදියාට නාවික හමුදාපතිවරයා සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් මධ්‍යම පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, ස්වාධීන මාධ්‍ය පදනම සහ මධ්‍යම පළාත් මාධ්‍ය එකමුතුව ඒකාබද්ධව මහනුවර නගර නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා.

එහිදී මාධ්‍යවේදීන් කළු පටි පැළඳ විරෝධතාවයට එක්ව සිටියා.   

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මාධ්‍ය සංගම් කිහිපයක නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අද ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවේද නාවික හමුදාපතිවරයාගේ එම ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීම සඳහායී.   

එමෙන්ම, කැකිරාව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපතිවරයා එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ  කළා.

ඊට එක්වෙමින් අදහස් දැක්වු එහි සභාපති කුෂාන් ජයවර්ධන කියා සිටියේ මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකින බවයි.

නාවික හමුදාපතිවරයා විසින් හිරු මාධ්‍යවේදීයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් එමඟින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ තම සම්මේලනයද ඒකාබද්ධ වූ බවයි.

තවද එම සම්මේලනය සඳහන් කරන්නේ නාවික හමුදාපතිවරයාගේ මෙම ක්‍රියාව තරයේ හෙලා දකින බවත්, ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තම සම්මේලනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, හිරු මාධ්‍යවේදියාට නාවික හමුදාපතිවරයා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අද පැවති මාධ්‍ය හමු සහ උත්සවවලදී විවිධ අදහස් පළ කළා.

ඒකාබද්ධ විපක්ෂය අද කොළඹ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එහි නියෝජිතයන් එක්ව සිටියේ කළු පටි පැළඳ ගනිමින්.  

නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන කියා සිටියේ නාවික හමුදාපතිවරයාගේ පහරකෑමට ලක්වු මාධ්‍යවේදීයාට සාධාරණයක් ඉටුවිය යුතු බවයි.

මේ අතර, නාවික හමුදාපතිවරයා හිරු මාධ්‍යවේදීයාට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළකිරීම සඳහා හෙට කොළඹදී පැවැත්වෙන විරෝධතාවයට සහය දැක්වීම සඳහා එක්වන ලෙස සමස්ත ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories