තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 15ක් සිරවේ, සාකච්ඡාවකට ඇමති සූදානම්

Wednesday, 21 December 2016 - 7:26

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+15%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඉල්ලීම් හතක් මුල් කරගනිමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් දියත් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවමත් ක්‍රියාත්මක වනවා.

මේ නිසා දිවයින පුරා තැපැල් කාර්යාලවල බෙදා හැරීමට නොහැකිව ලිපි ලක්ෂ 15ක් පමණ සිර වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළා.

කෙසේ වෙතත්, අද මධ්‍යම රාත්‍රියෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමෙන් පසු හෙට පෙරවරුවේ සිට ලිපි බෙදීමේ කටයුතු සිදුකරන බවයි එම පෙරමුණ කියා සිටියේ.

පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයිනේ අනෙකුත් තැපැල් කාර්යාලවල වැඩකටයුතු අඩාල වී තිබුණා.

වර්ජනය හේතුවෙන් බොහෝ තැපැල් කාර්යාල ඊයේ වසා දමා තිබූ අතර,මේ නිසා රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා ගෙවා ගැනීමට නොහැකිව රියදුරන්  අපහසුතා රැසකට මුහුණ දුන්නා.

පවතින තත්ත්වය මත යම් අයෙකුට ඊයේ දිනයේදී දඩ ගෙවීමට හැකියාවක් නොලැබුණේ නම්, ඒ සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි පොලිස් රථවාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු සඳහන් කළේ.  

එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ද දඩ ගෙවීම සඳහා විශේෂ කවුළු විවෘත කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කළේ සිය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් දින 14ක පසු අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

එමෙන්ම අද පෙරවරු 10ට තැපැල් මූලස්ථානය අසළින් විරෝධතා පා ගමනක් ආරම්භ කර පසුව සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාර දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories