රන්ජන්ට එරෙහිව පියවර ගන්නැයි ජනපතිට ලිපියක්

Saturday, 28 January 2017 - 18:50

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා පියවර ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය 26 වනදා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට ජනතාව ඉදිරියේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පහත් ලෙස බැන තර්ජනය කිරීමේ සිද්ධිය තමන් පිලිකුලෙන් යුතුව හෙලා දකින බවයි එම ලිපිය මගින් ඔහු දක්වා ඇත්තේ.

එහිදී ඔහුගේ හැසිරීම බොළඳ චිත්‍රපටියක චණ්ඩියෙකුට සමාන කරන මන්ත්‍රීවරයා ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ එය යහපාලනය අමු දවාලේ නිරුවත් කිරීමක් ලෙසයි.

අදාළ සිදුවීමේදී දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය පස් කැපීම අත්හිටුවිය හැකි ක්‍රමවේදයන් පැහැදිලි කරද්දී, නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ ආධාරකරුවන් හා මාධ්‍ය ඉදිරියේ ඇයට තර්ජනය කරන ලද්දේ ලකුණු දමා ගැනීමේ උවමනාවකට බවයි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

ගම්පහ - දිවුලපිටිය - දූනගහ ප්‍රදේශයේ සිදුකෙරෙන පස් කැපීමක් සම්බන්ධයෙන් සොයා බැලීමට පෙරේදා (26) එහි ගිය අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් එහි තත්ත්වය පිළිබද විමසීමක් කළා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදුණු අතර, එහිදී දෙපාර්ශවය අතර උණුසුම් කතාබහක් ඇති වුණා.

ගම්පහ ප්‍රදේශයේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ හැසිරීම පිළිබඳව අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කියා සිටියේ පසුගිය සමයේ ඔහුගේ  ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වෛරයක් ඇතිකරගෙන ඇති බවයි.

පහත් ලෙස බැන වැදීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියා නොකළහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද ඊයේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය හෙළා දකිමින් දිවුලපිටිය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් ඊයේ විරෝධතාවයකද නිරත වුණා.

එමෙන්ම, අදාළ සිදුවීමේදී තමාගේ කීර්තිනාමයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත ඊයේ (27) අදහස් දක්වමින්.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ හැසිරීම සම්බන්ධයෙන් අද (28) පැවති මාධ්‍ය හමු සහ ජනහමුවලදීද අදහස් පළ වුණා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ පෞද්ගලිකවම රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා හැසිරුණු ආකාරය අනුමත නොකරන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ චිත්‍රපට ජවනිකා දිවුලපිටියට නොගැලෙපන බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories