වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

Friday, 03 February 2017 - 12:07

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන අටේ සිට මධ්‍යහ්න 12 දක්වා දියත් කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා.

බොහෝ රෝහල්වල බාහිර රෝගී ප්‍රතිකාර අංශ මෙන්ම සායනික සේවාවලට ඉන් බලපෑම් එල්ල වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රත්නපුර මහ රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වලද මෙම වර්ජනය ක්‍රියාත්මක වුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අද මෙම සංකේත වැඩවර්ජනය දියත් කරනු ලැබුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඊයේ වෛද්‍ය පීඨ සිසුන් දියත් කළ විරෝධතාවයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින්.

අද පැවති වර්ජනය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සඳහන් කළේ ඉදිරියේදී විසඳුමක් නොලැබුනහොත් අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවයි.

කෙසේ වෙතත්, රිජ්වේ ආර්යා ළමා රෝහල, සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ මහරගම පිළිකා රෝහලේ කටයුතුවලට බාධා සිදුනොවුයේ එම රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

මේ අතර, මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ලියාපදිංචිය සහ රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙම ගැටලූව පිළිබඳව කිසිවෙකුත් හඬක් නොනැගූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories