කටුකුරුන්ද යාත්‍රා අනතුරෙන් 11 ක් මරුට - තවත් 32 ක් රෝහලේ

Sunday, 19 February 2017 - 18:43

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+32+%E0%B6%9A%E0%B7%8A++%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කළුතර - කටුකුරුන්ද මුහුදේ සිදුවූ යාත්‍රා අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දියේ ගිලී අනතුරට ලක්වූ තවත් පුද්ගලයින් 32 දෙනෙකු බේරුවල සහ නාගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

අද පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුවුණේ කළුතර - කටුකුරුන්ද වෙරළ තීරයේ සිට කිලෝමීටර් 3 ක් පමණ ගැඹුරු මුහුදේදීයි.

බේරුවල - ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් පැවති බෝට්ටු පෙරහැරකට එක්වූ බහුදින යාත්‍රාවක් මෙලෙස අනතුරට පත්වූ අතර, ඒ වනවිට එම යාත්‍රාවේ පුද්ගලයින් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් සිටි බව මෙම පෙරහැරට එක්වූ බහුදින ධීවර යාත්‍රා හිමියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අදාළ ආගමික උත්සවය අවසානයේ බෝට්ටු පෙළ නැවත හරවාගෙන යාමට කටයුතු කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගිය පුද්ගලයින් 8 දෙනෙකුගේ සිරුරු නාගොඩ රෝහලට රැගෙනවිත් තිබෙනවා.

ඉන් 6 දෙනෙකු කාන්තාවන් වන අතර එකම පවුලේ පියෙකු සහ අවුරුදු 12 ක පුතෙකු ද වනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ 6 දෙනෙකු ද නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ එහි දැඩි සත්කාර ඒකකයේයි.

එමෙන්ම මියගිය තුන්දෙනෙකුගේ සිරුරු බේරුවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව කළුතර - නාගොඩ රෝහලට අනතුරට ලක්වූවන්ගේ ඥාතීන් ද පැමිණියා.

ප්‍රමාණය ඉක්මවා අදාළ යාත්‍රාවේ මගීන් රැගෙන යාම මෙම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වූ ධීවර දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නුවන් ගුණවර්ධන කියා සිටියේ.

සිද්ධිය වාර්තාවීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හදිසි ප්‍රතිචාර සහ ගලවා ගැනීමේ බලගනයේ යාත්‍රා 8 ක් සමග නැවියන් 20 දෙනෙකු මුදා ගැනීමේ මෙහෙයුම් සදහා යොමු කෙරුණා.

පසුව කිමිදුම්කරුවන් 11 දෙනෙකු සමග ඩෝරා යාත්‍රා 4 ක් ද මෙහෙයුම් කටයුතු සදහා එක් කෙරුණු අතර නාවික හමුදාවේ සහයට ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද පැමිණියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories