Update - කළුතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයාගැනේ

Tuesday, 28 February 2017 - 8:26

Update+-+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කළුතර දී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සැකකරුවන් පළා ගිය බවට සැක කෙරෙන ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් සොයා ගෙන තිබෙනවා.

හොරණ - මොරගහහේන නගරයේ තිබියදී මෙම වෑන් රථය අද උදෑසන සොයා ගත් බවයි මොරගහහේන පොලීසිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙම වෑන් රථය, ඝාතන සිද්ධියෙන් පසු සැකකරුවන් පළා ගිය වෑන් රථයම ද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව මොරගහහේන පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියා.  

Update - Tuesday, February 28, 2017 9.22 am
----------------------------------------------------

කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු රැදවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණි කැබ් රථය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාව සිය කැබ් රථය කිසියම් පුද්ගලයෙකුට උකසට තබා මුදල් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව අදාළ කැබ් රථය පුද්ගලයින් කිහිප දෙනෙකු අතර හුවමාරු වී ඇති අතර, අවසන් වරට කැබ් රථය භාවිත කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි පොලීසිය සදහන් කළේ.

මෙම ඝාතනය සදහා පැමිණි පිරිස මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔවුන් පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් බවට ද පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා සමයං ඇතුළු රැදවියන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයට කළුතර බන්ධනාගාරය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ඊයේ උදෑසන 8.30ට පමණයි.

කැබ් රථයකින් පැමිණි පිරිසක් රැදවියන් ගෙන යමින් තිබූ බස් රථය හරස් කර, අසළ වන ලැහැබක සිටි තවත් පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

රැදවියන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් ගමන් කළ බන්ධනාගාර බස් රථයට ද මෙම පිරිස ප්‍රථමයෙන් වෙඩි තබා තිබෙනවා.

පසුව ඔවුන් පැමිණි කැබ් රථය එහි දමා වෑන් රථයකින් පළා ගොස් ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වුණේ.

මෙහි වගකීම පොලීසිය භාර ගත යුතු බව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඊයේ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය රැදවියන් පිරිස අධිකරණයට ගෙන යාමට නියමිත බැවින් ඒ සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස කළුතර පොලීසියට පෙරේදා දැනුම්දීමක් සිදුකළ බවයි.

වෙඩි ප්‍රහාරය සඳහා පැමිණි පිරිස පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පැමිණ ඇති බවට ද සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණා.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ සහ තවත් අයෙකු කළුතර - නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙනිය සදහන් කළේ වෙඩි තැබීමෙන් මිය ගිය පාතාල නායක සමයං ඇතුළු රැදවියන් 5 දෙනා කළුතර බන්ධනාගාරයේ රදවා තිබුණේ ඔවුන්ට ජීවිත තර්ජන එල්ල වී තිබීම නිසා බවයි.

2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදා ද සමයංට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

එහිදී ඔහු තුවාල ලැබූ අතර, ඉන් අනතුරුවයි මොහු අධිකරණය වෙත රැගෙන ඒමේදී විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories