‘‘සමයං’’ ඝාතනය කළේ ‘‘අංගොඩ ලොක්කා’’ සහ ‘‘කඹුරුපිටියේ මධූෂ්’’ ද ?

Tuesday, 28 February 2017 - 18:47

%E2%80%98%E2%80%98%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82%E2%80%99%E2%80%99+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E2%80%98%E2%80%98%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B7%83%E0%B7%84+%E2%80%98%E2%80%98%E0%B6%9A%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%96%E0%B7%82%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B6%AF+%3F
කළුතරදී බන්ධනාගාර බස් රථයකට ඊයේ එල්ලවූ ප්‍රහාරය අංගොඩ ලොක්කා සහ කඹුරුපිටියේ මධුෂ් නැමති නම්වලින් හඳුන්වන පාතාල නායකයන් දෙදෙනාගේ මෙහෙයවීම මත සිදුව ඇති බවට කරුණු රැසක් අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.

විමර්ශන මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අංගොඩ ලොක්කා කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, කඹුරුපිටියේ මධුෂ් දකුණේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ බවයි.

මේ අතර අද උදෑසන හොරණ - මොරගහහේන ප්‍රදේශයේදී සොයාගත් ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථය වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් පලාගිය වෑන් රථය බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එය ත්‍රිකුණාමලයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බවටයි අනාවරණ වී තිබෙන්නේ.  

ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි කැබ් රථය අයත් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවගෙන් ද පොලිසීය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

ඇය අදාළ කැබ් රථය උකස් කරන ලද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකුගෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගත් අතර, අවසන් වරට කැබ් රථය භාවිත කළ පුද්ගලයා ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු රැදවියන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයට කළුතර බන්ධනාගාරය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ ඊයේ උදෑසන 8.30ට පමණයි.

එහිදී පාතාල කල්ලි සාමාජිකයෙකු වන සමයං ඇතුළු හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස්වරයෙකු සහ සහකාර බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව අද කළුතර බන්ධනාගාරයට පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට කළුතරදී එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බන්ධනාගාරගත සැකකරුවන්ගේ ආරක්ෂව පිළිබද වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැවරෙන අතර, දරුණු ගණයේ සැකකරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂාව සදහා පොලිසියේ සහය ලබා ගන්නා ලෙසට උපදෙස් දී ඇති බවයි.

පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් වෙත අවි පුහුණුව පවා ලබාදි තිබියදී එම දෙපාර්තමේන්තුවලට මෙවැනි අවස්ථාවන්දී තම සාමුහික වගකීමෙන් මිදිමට නොහැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.

එබැවින් මෙම ප්‍රහාරයට සාර්ථකව මුහුණ දීමට හෝ එය වැළැක්වීමට හෝ අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ අදාළ නිලධාරින් සම්බන්ධව නීතිමය පියවර ගැනීමටත් ප්‍රහාරයට වගකිව යුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories