ජීවත්වීමට ඉතා පිරිසිදු පරිසරයකුත්, ඉතා නිස්කලංක මානසිකත්වයකුත් නොතිබුනොත් දුමින්දගේ ජීවිතය ඉක්මනින් අවදානම් අතට හැරෙන්න පුළුවන් - ආර් දුමින්ද සිල්වාගේ පියා ලාල් සිල්වා ජාතික පුවත්පතකට කියයි

Monday, 20 March 2017 - 12:14

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B6%82%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වෛද්‍ය වාර්තා අනුව ආසාධන ඇතිවිය හැකි පරිසරයක් ඔහුට සුදුසු නැහැ
 
ජීවිත අවදානම කොයිවෙලේ මතුවේද කියා කියන්න බැහැ

ජීවිතයම කණපිට පෙරලූ අනතුරක්‌ හා ඒ හා බැඳුණු දැඩි සමාජ අවතක්‌සේරුවක්‌ද, වරදවා වටහා ගැනීමක්‌ද අතර දෝලනය වූවෙකි ආර්. දුමින්ද සිල්වා. සියලු වෛද්‍ය වාර්තා අනුව, මේ තරුණ දේශපාලනඥයා සිය මොළය විනිවිද ගිය අනතුරකට ගොදුරු වූවෙකි. නමුත් තවමත් ඇතැමුන් ඒ බව පිළිනොගනී. 2011 වසරේ සිදුවූ කූප්‍රකට භාරත - දුමින්ද ගැටුමේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ ජන සමාජය දෙදරුම් කැවීමට සමත් විය. භාරත ඝාතනයේ වරදකරු යැයි තීන්දු කිරීමෙන් පසු පසුගිය වසරේ ඔහුට මරණ දණ්‌ඩනය නියම වුණි. ඉතා සංවේදී ආබාධයක්‌ සහිතව අද දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ කල් ගෙවයි. සිය බාල පුතුගේ සෞඛ්‍ය තත්ත්වයද තම පවුල හා බැඳුණු දේශපාලන චලනයන් ගැනද "දිවයින ඉරිදා සංග්‍රහය"ට අදහස්‌ දැක්‌වූයේ දුමින්දගේ පියා ලාල් සිල්වායි.

ප්‍රශ්නය- දුමින්දගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විවිධ කතා පැතිරෙනවා. ඇත්තෙන්ම ඔහු ඉන්නේ අනතුරුදායක තත්ත්වයකද?

පිළිතුර- දුමින්ද දවස්‌ 20 ක්‌ පමණ සිරගෙදර අනෙක්‌ සිරකරුවන් සමඟ සිටිය නමුත් වෛරස්‌ උණක්‌ උත්සන්න වී ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. ඉන්පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විටින් විට පිරිහෙන්නට පටන් ගත්තා. දුමින්දගේ හිසේ ශල්‍යකර්මය කරපු සිංගප්පූරුවේ කීත්ගෝ නම් ස්‌නායු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා, 2013 දුමින්ද ලංකාවට පැමිණෙන අවස්‌ථාවේදී අපට දීපු වාර්තාවේ කියනවා බැක්‌ටීරියා ආසාදන සිදු විය හැකි පරිසරයක්‌ ඔහුට නුසුදුසු බව. එයාගේ ඇත්ත සෞඛ්‍ය තත්ත්වය එයාගේ ශරීර ස්‌වභාවයෙන් මැනගන්න බැරි බවත්, ඉතා ක්‍ෂණයකින් නැවත පහත වැටී නරක අතට හැරිය හැකි බවත් ඒ වාර්තාවේ සඳහන්. (එකී වාර්තා පිටපත් හා පින්තූර පෙන්වයි)

වෛද්‍ය මතය අනුව එයාගේ ජීවිතේ බේරුණු එක ප්‍රාතිහාර්යයක්‌. සිංගප්පූරුවේදී කරපු "ක්‌රේනියෝප්ලාස්‌ටි" (Cranioplasty) නම් ශල්‍යකර්මයේදී ඔහුගේ වර්ග සෙන්ටිමීටර් 30ක ප්‍රමාණයකින් හිස්‌කබල නැති වුනු කොටසට කෘත්‍රිම හිස්‌කබල් කොටසක්‌ දමා තිබෙනවා. ඊට පසු සිංගප්පූරුවේදී තවත් ශල්‍යකර්ම දෙකක්‌ කළා. වරින් වර සිංගප්පූරුවට ගිය අවස්‌ථාවලදී දැන් තිබෙන රෝග ලක්‍ෂණ ඉස්‌මතු වුණු අවස්‌ථාවන්හිදී සුළු ශල්‍යකර්ම මාර්ගයෙන් ඔහුට සුවය ලබාදී තිබෙනවා. ඔහුගේ මොළේට සිදුවූ මෙම තුවාලය ගැන මහෙස්‌ත්‍රාත් ජී. ඒ. ආර්. ආටිගල මහත්මිය විසින් කරපු ඉල්ලීමකට අනුව මේ මාසයේ 3 වැනිදා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහගේ අත්සනින් අධිකරණය වෙත වෛද්‍යවරුන් නවදෙනකුගෙන් සමන්විත වෛද්‍ය සභාවක වාර්තාවකුත් ලබා දුන්නා. ඒ වාර්තාවෙන්ම ඔහුගේ සෞඛ්‍ය ගැටලු හා වියහැකි උත්තේජන හා අවදානම පෙන්වා දී තිබුණා. මෙම වෛද්‍ය වාර්තාවේ සිංගප්පූරුවේ වෛද්‍යවරුන් ඔවුන්ගේ වාර්තාවල සඳහන් කල කරුණු සනාථ කර ඇති බව පැහැදිලියි. බොරු වාර්තා ඉදිරිපත් කර ඇති බවට මඩ ගැසූ අයට දැන්වත් හරි තත්ත්වය තේරුම් ගැනීමට තරම් මොළයේ තත්ත්වයක්‌ ඇතිවේ යැයි මම ප්‍රාර්ථනා කරනවා.

ඇත්තෙන්ම ඔහුට මේ ආබාධ හින්දා ජීවත්වීමට ඉතා පිරිසිදු පරිසරයකුත්, ඉතා නිස්‌කලංක මානසික වාතාවරණයකුත් තිබිය යුතුයි. එහෙම නොවුණොත් තත්ත්වය ඉක්‌මනින්ම අවදානම් අතට හැරෙන්න පුළුවන්. එය කොයි වෙලේද, මොන අවස්‌ථාවන්හිදී ද කියා කීමට කාටවත් හැකියාවක්‌ නැහැ. මෙවැනි අනතුරු ගැන ලියා ඇති ග්‍රන්ථවල ඒවා පැහැදිලි කර තිබෙනවා.

ප්‍රශ්නය - ඔහුට අවශ්‍ය මේ විශේෂ තත්ත්වය අදාළ ආයතනවලට දැන්නුවද?

පිළිතුර - දුමින්දගේ මේ සම්බන්ධයෙන් මුල සිටම ක්‍රියා කළ වෛද්‍යවරිය මහේෂි විඡේරත්නට ඔහුව පරීක්‍ෂා කිරීමට ජ'පුර රෝහලට යෑවූ නමුත් එම රෝහලේ සිරකරුවන්ට බෙහෙත් කිරීමට අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විසින් අවසරදී නොමැති බව පවසා ඔහුව බන්ධනාගාර ගිලන් රථයෙන් බස්‌සන්නෙවත් නැතුව නැවත බන්ධනාගාර රෝහලට එවා තිබුණා. එම නිසා අගමැතිතුමාටත් ලිපියක්‌ යොමු කළා පෞද්ගලික රෝහලකට හෝ ඔහුව යොමු කොට එම වෛද්‍යවරියට යොමු කරන්න අවසර ලබා දෙන්න කියා. නමුත් දුමින්ද විඳින දඬුවමේ ස්‌වභාවය නිසා ඔහුට මීට වඩා ප්‍රතිකාර ලබාදීමට නොහැකි බව බන්ධනාගාර භාර ඇමැති මගින් පිළිතුරු ලෙස කියා තිබුණා.

ප්‍රශ්නය- ඔබ මරණ දණ්‌ඩනයට එරෙහිව අභියාචනයක්‌ ඉදිරිපත් කළා නේද?

පිළිතුර- ඔව් සුප්‍රිම් උසාවියට. මේ තීරණය දුමින්දට එරෙහිව ලබල දෙනකොට ඒ විනිසුරන් අතර බෙදීමක්‌ තිබුණා. ඔවුන් අන්ත දෙකක ඉඳලයි ඔවුන්ගේ තීරණ ලබා දුන්නේ.

පැරැණි සමාජය නියෝජනය කරන අයෙක්‌ විදිහට මට අධිකරණය ගැන විශාල විශ්වාසයක්‌ තිබෙනවා. සත්‍යය හරිහැටි විමර්ශනය කර අධිකරණයෙන් සහනයක්‌ ලැබේ යෑයි මම දැඩි විශ්වාසයෙන් ඉන්නවා. දෙන ලද අවසාන තීන්දුව සම්බන්ධව අපගේ නීතිඥයන්ගේ මතය අනුව, තර්කානුකූලවද, මූලධර්ම වශයෙන්ද, නීත්‍යානුකූලවද, සිද්ධාන්තමය ලෙසද, විශ්ලේෂණාත්මකවද ගත්කල පවතින දෝෂද, නීතිය අර්ථකථනය කිරීමේදී මූලික න්‍යායන් අනුගමනය කර නොමැති අවස්‌ථා සියල්ල ඉස්‌මතු කරමින් සුප්‍රිම් උසාවියට අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධව දීර්ඝ ලෙස විග්‍රහ කළ හැකි වුවද, මෙම කරුණ අධිකරණයේ සාකච්ඡාවට භාජනය කර ඇති බැවින්ද, අධිකරණයට දක්‌වන ගරු කිරීමක්‌ ලෙසද, මේ පිළිබඳ වැඩිදුර අදහස්‌ දැක්‌වීමෙන් වැළකී සිටීමට මා කැමැතියි.

ප්‍රශ්නය- දුමින්ද සම්බන්ධ මාධ්‍ය වාර්තා ගැන ඔබට විශාල විවේචනයක්‌ තිබෙන බව පේනවා.

පිළිතුර- නව මාධ්‍ය මාදිලි, මාධ්‍ය සම්ප්‍රදායන් හා තාක්‍ෂණයන්, සමාජයේ සමහර දුර්ජන කොටස්‌ අවභාවිත කරන බව මගේ අදහසයි. සමාජ ජාලා හා වෙබ් අඩවි ක්‍රියා කරන ආකාරයද සමහරවිට ඉතා හානිකරයි. දැන් බලන්න ඔවුන් ජනමතය කෘත්‍රිමව නිමවනවා. ඇත්තටම පොළොවේ නැති තත්ත්වයක්‌ මවනවා. එහෙම තමන්ට ඕනෙ මතයක්‌ නිමවලා තමන්ගේ වාසියට ක්‍රියා කරනවා. මෙය භයානක තත්ත්වයක්‌. මේ වගේ භාවිතාවක්‌ වඩ වඩා ප්‍රචලිත වුණොත් නියත වශයෙන්ම රටේ සිවිල් සමාජය කඩා වැටෙන්න පවා ඉඩ තියෙනවා. මොකද මෙහි අන්තර්ගත වී ඇත්තේ බොරුව, ප්‍රෝඩාව, ඊර්ෂ්‍යාව හා මඩ ගැසීම. නමක්‌ නැති, ගමක්‌ නැති, ජන්මයක්‌ නැති, ලිපිනයක්‌ නැති, හැඳුනුම්පතක්‌ නැති, තමාගේ ඡායාරූපය පවා විකෘති කරන සමාජයේ කොන් කළ යුතු අය තමයි මේ අවභාවිතාව කරන්නේ. උසාවි ඉදිරිපිට පොල් ගැසීමෙන් හෝ මාධ්‍ය සංදර්ශනවලින් අධිකරණයට බලපෑම් කරන්නට හෝ අපහාසයට හා උදහසට ලක්‌ කිරීමට ඉඩදිය යුතු නැහැ.

ප්‍රශ්නය- ඔබේ පවුලේ පසුබිම ගැන මඳක්‌ විස්‌තර කරන්න.

පිළිතුර- මගේ සීයා කළුතර කළමුල්ල ගමේ ජීවත් වූ ඒ. වික්‌ටර් සිල්වා (වික්‌ටෝරි මුදලාලි කියලා කවුරුත් හැඳින්වූයේ). මම මේ කතා කරන්නේ වර්ෂ 1900 මුල් කාලය සිටයි. පොල්, රබර්, කුරුඳු අක්‌කර විශාල ප්‍රමාණයක අයිතිකරුවෙක්‌. මගේ පියාගේ වැඩිමහල් සහෝදරයා දොස්‌තර ඒ. වී. පී. සිල්වා. ඔහු 1935 දී පමණ හම්බන්තොටදී ක්‍ෂය රෝග වසංගතය ඇතිවූ අවස්‌ථාවේ ඔහුට එහි සේවය කිරීමට සිදුවුණා. මුදල් ඇති නිසා සහෝදර සහෝදරියෝ ඔහුට පෞද්ගලික වෛද්‍ය සායනයක්‌ කිරීමට පෙරැත්ත කළත් තමන් දොස්‌තර කෙනෙක්‌ ලෙසට රෝගීන්ට සේවය කිරීමට දිවුරුම් දී ඇති බව පවසමින් එහි සේවයට ගිය අතර 1939 දී වයස අවුරුදු 33 දී ඔහු මියගියා. තවත් සහෝදරයෙක්‌ ෆ්‍රැන්සිස් සිල්වා. ඉතා ප්‍රසිද්ධ නීතිඥවරයෙක්‌. අනෙක්‌ සහෝදරයා නෝබට්‌ සිල්වා කළුතර U.C. එකේ සභාපති වෙලා සිටියා. මගේ පියා ඇල්ෆෝන්සස් සිල්වා වතු අධිකාරිවරයෙක්‌ වෙලා ඉඳලා ඊට පසු D.L.O තනතුර දරුවා (ඒ කාලේ D.R.O තනතුරට ඉහළින් තිබුණා තනතුරක්‌). මේ සියලු දෙනාම ඉගෙන ගත්තේ කොටහේන ශාන්ත බෙනඩික්‌ විදුහලේ නේවාසිකාගාරව. මගෙ පියා ඉගෙන ගත්තේ ශාන්ත සෙබස්‌තියන් විද්‍යාලයේ. මගේ මවගේ සහෝදරයෝ පස්‌දෙනාත් (1950 සිට), මමත්, මගේ සහෝදරයෝත් (1960 සිට) ඉගෙන ගත්තේ ශාන්ත බෙනඩික්‌ට්‌ විදුහලේ නේවාසිකව. මගේ මවගේ පැත්තෙන් මගේ සීයා රත්මලාන ශාන්ත රීටා පාරේ ගෙවල් 20 ක පමණ හිමිකරු වූ ඒ. ඇන්සලින් සිල්වා. හිටපු වෙළෙඳ ඇමැති කිංස්‌ලි වික්‍රමරත්න මහතා සීයාගේ සහෝදරයෙක්‌. මගේ භාර්යාවගේ පියා ලූෂන් හැරී උක්‌වත්ත ලියනගේ. ශාන්ත තෝමස්‌ විදුහලේ ඉගෙනුම ලැබූ ඔහු දෙවැනි ලෝක යුද්ධය සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංගප්පූරුවේ රාජකාරි කළා. ඇයගේ සීයා මාතර උක්‌වත්ත වලව්වෙන් පැවතෙන කෙනෙක්‌ වන අතර ඔහුගේ සොයුරා තමන්ගේ ඉඩකඩම් සියල්ලම පන්සලටත් රාහුල විද්‍යාලයටත් දන් දුන් ගාල්ලේ මන්තින්ද පිරිවෙන පන්සලේ හිටපු අපවත් වී ඇති පූජනීය ගරුතර අතදිසි ස්‌වාමීන් වහන්සේ. ඇගේ ආච්චි චාලට්‌ ඇලැක්‌සැන්ඩර් පින්ටෝ ජයවර්ධන ද අල්විස්‌. ඇගේ සහෝදරයන්ගේ දූ දරුවන් තමයි එවකට වන ජීවී අධ්‍යක්‍ෂ ලින් ද අල්විස්‌, හිටපු ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලේ වෝඩන් නෙවිල් ද අල්විස්‌, හිටපු පොලිස්‌පති කොඩිතුවක්‌කු මහතාගේ බිරිඳ ලක්‌ෂ්මි කොඩිතුවක්‌කු හා ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙක්‌ වූ ඔසි ද අල්විස්‌. මම මේවා කියන්ඩ කැමැති නැහැ. නමුත් මෙම විවේචනවලට පිළිතුරක්‌ හැටියට අප උගත්, මුදල්වලින් හැකියාවක්‌ තිබුණ පරම්පරාවකින් පවතින බව දැන්වීමටත්, ඔබ ඇසූ ප්‍රශ්නයට උත්තරයක්‌ වශයෙනුත් මේවා සඳහන් කළේ. මාගේ පියාගේ සහ මවගේ පාර්ශවයන්ගෙන් ඔවුන්ට උරුම වූ දේපළ මටත් ලැබුණා.

මගේ නම A.V.P. සිල්වා. මට FCA හා FMAAAT යන සුදුසුකම් තිබෙනවා. බොහෝ අය මාව හඳුනන්නේ ලාල් සිල්වා කියලා. මම වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙක්‌. මේ රටේ පිළිගත් ආයතන හතරක කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස කටයුතු කරන අතර තවත් ආයතන 5 ක අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස කටයුතු කරනවා. මගේ තරුණ කාලේදී 1968 සිට අවුරුදු 5 ක්‌ පමණ විජයග්‍රාහී හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජයට රගර් ක්‍රීඩා කළා. අවුරුදු 4 ක්‌ පමණ ශ්‍රී ලංකා රග්බි සංගමයේ භාණ්‌ඩාගාරික ලෙස විශිෂ්ට සේවයක්‌ කළ අතර හැව්ලොක්‌ස්‌ ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය හොබවනු ලැබුවා. මෙම වකවානුවෙ කිසිම වකවානුවක නොතිබූ අන්දමට මූල්‍යම වශයෙන් මෙම ආයතන ඉහල තත්ත්වයක තැබීමට හැකිවුවා පමණක්‌ නොව ආයතනයට සාපේක්‍ෂව සෑහෙන මුදලක්‌ ස්‌ථාවර ගිණුම්වල තැන්පත් කිරීමටත් හැකි වුණා. මීට පෙර මා හෙබවූ පාඩු ලබන ආයතන ප්‍රවර්ධනය කිරීමට මා ක්‍රියා කර ඇති අතර ලාභාංශ කරා යොමු කිරීමට ද මට හැකි වුණා. දිගු කලක සිට ආදායම් බදු සෑහෙන ප්‍රමාණයක්‌ නීත්‍යානුකූලව ගෙවන අයට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් 2008 වර්ෂයේදී, රජයේ ආයතනවලින් ප්‍රමුඛත්ව සේවයක්‌ ලබා ගැනීමට කාඩ්පත් ලබා දුන්නා. මට රන් කාඩ් පතක්‌ ලැබුණා. බැංකුවලට පිළිගත හැකි හොඳ වාර්තාවක්‌ හා මෙහෙයවීමට හැකි ඕනෑම කෙනෙකුට සල්ලිකාරයෙක්‌ විය හැකි. ඉගෙනීමට පමණක්‌ හැකි ප්‍රායෝගික දැක්‌මක්‌ නැති අයට මුදල් ඉපයීමේ හැකියාව නැහැ. ඒ අය දන්නේ පොත් පත්වල ලියූදේ අර්ථකථනය කරන්න පමණයි.

මගේ භාර්යාව රොමේන් මල්කාන්ති සිල්වා (උක්‌වත්ත ලියනගේ). මගේ ලොකු පුතා රේනෝ සිල්වා මේ රටේ විශාලතම මාධ්‍ය ආයතනයේ හිමිකරුවා. අප පවුලට අයිති තවත් ව්‍යාපාර ගණනාවක්‌ තියෙනවා. මගේ අනිත් පුතා වින්සන්ට්‌ සිල්වා මේ රටේ ඇඟලුම් කර්මාන්තයෙන් වැඩිම විදේශ විනිමය ගේන සමාගම් දහයෙන් එකක්‌ නියෝජනය කරනවා. මගේ ලොකු දුව ඩිලිනි සිල්වා උපාධි ගණනාවක්‌ ලබා තිබෙනවා (BSc HON IT, MBA, CIM UK, Doctorate Business Management CIM විභාගයෙන් ශ්‍රී ලංකාවේ ත්‍යාග දිනුවෙක්‌). දැන් ඇය LLB නීති උපාධියේ අන්තිම වසරේ අධ්‍යාපනය හදාරමින් සිටිනවා. මගේ බාල දුව නිලක්‍ෂි සිල්වා මනෝවිද්‍යාවෙන් ඩිප්ලෝමාවක්‌ ලබා ඇත. ඈ විවාහ වෙලා ඉන්නේ ආචාර්ය ගෙහාන් ද සොයිසා (BSc. Hons MBA, OHD MST Cambridge). ඔහු ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකාරයෙක්‌. වෙලෝනා නාමය ඉදිරියට ගෙනයනවා. ශාන්ත තෝමස්‌ විදුහලේ ඉගෙන ගත් ඔහුගේ මවගේ පාර්ශවයේ සීයා වෙලෝනා අධිපති, මොරටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රස්‌කින් ප්‍රනාන්දු මහතායි. ඔහුගේ සීයාගේ පියා තමයි ද සොයිසා මාතෘ ඉස්‌පිරිතාලය, ඇස්‌ වාට්‌ටුවේ ඉස්‌පිරිතාලය, ලුනාව, මාරවිල, පානදුර ඉස්‌පිරිතාල, මොරටුව ස්‌ටේඩියම් එක, ප්‍රින්ස්‌ හා ප්‍රින්සස්‌ ඔෆ් වේල්ස්‌ විදුහල් පරිත්‍යාගය කළ සර් හෙන්රි චාල්ස්‌ ද සොයිසා මහතා.

ප්‍රශ්නය- දුමින්ද ඔබේ බාල පුතා, ඔහු දේශපාලනයට ආවේ කොහොමද?

පිළිතුර- ඒ ප්‍රදේශයේ තරුණ ක්‍රීඩා කණ්‌ඩායම්වලට උදව් කරමින් සිටි නිසා ඔවුන්ගේ අදහස්‌වලින් හා පෙලඹවීමෙන් ඔහු දේශපාලනයට පිවිසුණා. මුලින්ම පළාත් සභාවට ඉල්ලනකොට මම කොහෙත්ම කැමැති වුණේ නෑ. පසුකාලීනව ඔහුට මිනිසුන් සමඟ සිටීමට හා ඔවුනට උදව් කිරීමට ඇති ආශාව දැනගත් නිසා මම ඔහුට උදව් කළා.

එයාට පුංචි කලේ ඉඳලම දෙන පුරුද්දක්‌ තියෙනවා. දුප්පත් අයට ඔහුට හැකි විදිහට මුදල්, කෑම, ඇඳුම් එහෙම දෙන්ඩ ආශා කළා. ශාන්ත පීතර විද්‍යාලෙ ඉන්කොට ක්‍රීඩාවලට සහභාගී වුණා. තේ ටේස්‌ටින් (Tea Tasting, Brokering) ඉගෙන ගෙන ආයතනයක විධායක තනතුරක්‌ දැරුවා. පස්‌සේ කාලෙක ඉතා සාර්ථක කෑම ව්‍යාපාරයක්‌ කළා. "ලක්‍ෂ්මී ෆුඩ් සෙන්ටර්" නමින්. මේ ගැන සමහරු පහත් දෙයක්‌ සේ මෑතකදීත් කතා කරනවා මම දැක්‌කා. ටික දවසක්‌ යනකොට මගෙත්, පවුලේ අයගේ උදව්වෙනුත් දුමින්ද මිනිසුන්ට පුළුවන් උපරිම මහන්සියෙන් උදව් කළා. 2010 දී මහ ඡන්දෙන් එයා කොළඹින් දෙවැනියා වුණේ විමල් වීරවංශට විතරයි.

නැති බැරි අයට උදව් කිරීම කුඩා කල සිටම දුමින්දගේ පුරුද්දක්‌. එය, එයා දේශපාලනයට එන්නට පෙර සිටම කරගෙන ආවා. එයා එක්‌සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිටියදීද මෙම කටයුතු දිගටම කරගෙන ආවා. තම පටු පරමාර්ථ වෙනුවෙන් පමණක්‌ම දේශපාලනයේ යෙදෙන අයට මේවා දකිනකොට ඊර්ෂ්‍යාවක්‌ දැනිලා ජාවාරම්කරුවෙකු බවට මතවාදයක්‌ ගොඩනැඟුවා. අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් එයා කරන උදව් උපකාර අඩපණ කිරීමට, මනාපවලට පෙරේත කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සමහර දේශපාලකයින් විසින් ඉතා සූක්‍ෂම ලෙස සමාජ මාධ්‍ය ජාලා හසුරුවමින් මේ සියල්ල කළ බව ඉතා පැහැදිලි කරුණක්‌. මෙවැනි අභූත චෝදනා මගින් දුමින්ද ඉතා අවංකවම කරගෙන ආ මෙම සත්ක්‍රියාව අවමානයට ලක්‌කෙරුවා. මෙය පිටුපස සිට තම පටු අරමුණු ඉටුකරගැනීමට දඟලන දේශපාලන චරිතවල උවමනාවක්‌ වුණ බව ඉතා පැහැදිලියි. මෙම අය මෙවැනි දේ කියමින් දුමින්දට චෝදනා කළේ කිසිම සාක්‍ෂියක්‌ නැතුව. ඒවා කළේ දේශපාලන වාසි ලබා ගැනීමට පමණක්‌ නොව, එවැනි ජාවාරම්වල නියුතු වන අය නීති අධිකාරිය නොමඟ යවා වෙනත් දිසාවකට යොමු කර ඔවුන්ගේ ඡාවාරම දිගින් දිගටම කරගෙන යැමටත් නීතියේ රැහැනෙන් මිදෙන්නටත් බව ඕනෑම කෙනෙකුට තේරුම් යනවා ඇති.

ප්‍රශ්නය- ඔහුගේ අභාග්‍යසම්පන්න අනතුරටත් ඒ දේශපාලනයම බලපෑවාද?

පිළිතුර- ඔව්. එදා සෙනසුරාදා දවසක්‌. මම හවස ටිකක්‌ නිදාගෙන සිටියෙ. "දුමින්ද මහත්තයට වෙඩි තිබ්බා," කවුද හදිසියෙ කෝල් කරලා ලයින් එක කට්‌ කළා. මම ඒ වෙලාවෙම ගෙදරින් එළියට ආවා. ලොකු පුතා එතකොට කෝල් කරලා කිව්වා තාත්තා ඉක්‌මනට ජ'පුර රෝහලට යන්න කියලා. එහිදී ඔහුට ක්‍ෂණික ශල්‍යකර්මයක්‌ කළා. සති තුනක්‌ පමණ හොඳ සිහි කල්පනාවක්‌ තිබුණේ නැහැ. ඔහුගේ වම් පැත්ත අප්‍රාණිකව තිබුණා.

දුමින්දට මේ දේ වීමට හේතුව දේශපාලන ඊර්ෂ්‍යාව කියලයි මම හිතන්නේ. ඔහු මෙහේ පැරණි දේශපාලනඥයන් පසුකරමින් විශාල ජනප්‍රියත්වයක්‌ අත්කර ගෙන හිටියා. ඉතා කෙටි කාලයක්‌ ඇතුළත. ඔහු එතැනට ආවේ හැකි පමණ මිනිසුන්ට උදව් කිරීම තුළින්මයි. මුදල් උපදන දේශපාලන සංස්‌කෘතියක්‌ තිබෙන කාලයක තමාට හැකි පමණින්, තම පවුලේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලබා ගනිමින් දුප්පත් අයට උදව් කළ නිසා, එවැනි දේවලට නොකැමැති අය ඔහු වට්‌ටන්න ඔහුගේ චරිතය ඝාතනය කළා. එපමණක්‌ නොවේ ඡන්ද කාලයට පමණක්‌ පැමිණ දුප්පත් අයට උදව් උපකාර කළ දේශපාලන සංස්‌කෘතිය කණපිට පෙරළමින් පත් වූදා සිට සෑම හැකි මොහොතකම මිනිසුන් සමඟ සිටිමින් ඔවුන්ට උපකාර කිරීම ගැන බොහෝ අය තරහින් සිටියා. මෙවැනි දේ පවසන්නේ දේශපාලන කුහකයන්. නමුත් මෙම ක්‍රියාදාමයන්ට මුවාවී තම එදිරිවාදීන්ගේ චරිත ඝාතනය කර තම පුද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට වර්තමාන රජයට සම්බන්ධ යම් යම් පාර්ශ්වයන් දරණ උත්සාහය මා අතිශය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එහෙත් ඔහුව දන්නා අය මේවාට රැවටුණේ නැහැ. මට යම් දුකක්‌ තියෙනවා නම් ඒ මෙන්න මේ කාරණය හින්ද. දුමින්ද ජනප්‍රිය වෙන්න මග හදපු ඒ මිනිසුන්ට උපකාර කිරීමේ පුරුද්දට මාත් හැකි උපරිමයෙන් උදව් කරලා එයාව ඒකට ධෛර්යමත් කිරීම නිසා මාත් මේ සිදුවීමට යම් තල්ලුවක්‌ දුන්නා දෝ කියලා හිතෙන කොට මනසට යම් වේදනාවක්‌ ගෙන දෙනවා. ඒත් දුමින්ද නැවත ක්‍රියාකාරී දේශපාලනයට එනවාද නැද්ද යන දේට මට මැදිහත් වෙන්න බෑ. ඒක දුමින්දටම අයිති තීරණයක්‌.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories