මීතොටමුල්ලේ අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් - මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළට

Sunday, 16 April 2017 - 6:31

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+20+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කුණු කන්ද කඩා වැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව ඇති තවත් නිවාස 130 කට අධික ප්‍රමාණයක් නායයාමේ අවදානම හේතුවෙන් එම නිවාසවල පදිංචි ජනතාව ඉවත් කිරිමට නිර්දේශ ඉදිරිපත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර ප්‍රකාශ කළා.

කුණු කන්ද නායයාමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ විශේෂඥ කණ්ඩායමක් සහ භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරක්ෂණ කටයුතු සදහා ඊයේ දිනයේදි කැදවා තිබුනා.

ඒ අනුව, සිදුකළ නිරීක්ෂණයන් අනුව මෙම නිර්දේශ ඉදිරිපත් කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

අදාළ ප්‍රදේශයේ ජල මාර්ග අවහිර වීමත් සමග සුළු ගංවතුර තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් යළි නායයාමේ අවදානමක් මතුව ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර ප්‍රකාශ කළා.   

නිවාස 145 කට කුණු කන්ද කඩාවැටීමෙන් හානි සිදුව ඇති අතර, පවුල් 180 කට අයත් පුද්ගලයන් 625 දෙනෙකු ඒ හේතුවෙන් අවතැන්වී තිබෙනවා.

අවතැන්වූවන්ට තාවකාලික නවාතැන් ලබාදී ඇත්තේ  කොළොන්නාව - ටෙරන්ස් එන් ද සිල්වා පාසලේ සහ අවට ප්‍රජා ශාලාවලයි.

ජනතාවගේ තොරතුරු ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙනවා.

යුද හමුදාව ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 650 ක බලකායක් මෙන්ම ගිනි නිවන හමුදාව සහ සහන කණ්ඩායම්ද මීතොටමුල්ලේ මෙහෙයුම්වලට එක්ව සිටින බවයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් බෙල් 212 සහ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා තුනක්ද අවශ්‍යතා මත යෙදවීම සඳහා සූදානම් කර  ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළා.

මේ අතර, මීතොටමුල්ලේ විනාශයට පත්වූ නිවාසවල බඩු බාහිරාදිය ආරක්ෂක අංශවල සහයෙන් ඉවත්කරගන්නා ලෙසට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විපතට පත්වූවන්ට උපදෙස් ලබාදී තිබුණා.

ආපදාවට ලක්වූ නිවාස වල මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමට උත්සාහ කළ 20 දෙනෙකු ද ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන් කළා.

එමෙන්ම, ප්‍රදේශයේ ආරක්ෂාව සහ සහන කටයුතු සදහා අවශ්‍ය සියලු පියවරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories