හොරණ - මිල්ලකන්දට මිලිමීටර් 615ක වැස්සක් - කොළඹට මහා ගං වතුරක අවදානමක්

Friday, 26 May 2017 - 18:43

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+615%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මේ වනවිට ඉහළ යමින් පවතින කැළණි ගෙඟ් ජල මට්ටම සුළු ගං වතුර මට්ටමේ සිට මහා ගං වතුර තත්ත්වයක් දක්වා වැඩි විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කැළණි ගඟ අවට පහත්බිම්වල සිටින ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

අඳුරු වැටීමට පෙර පහත්බිම්වලින් ඉවත් වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර ද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, වර්ෂාව සහ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ, කොලොන්නාව, කඩුවෙල, වත්තල, කැළණිය, බියගම, හංවැල්ල, පාදුක්ක සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතිනවා.

අදාළ ප්‍රදේශවල ස්වභාවික ඇල මාර්ග හා ජල මාර්ග අවහිර වන ලෙස ගොඩනගා ඇති ඉදිකිරීම් අදාළ නගර සභා, ප්‍රාදේශීය සභා දැනුවත් කිරීමෙන් අනතුරුව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක උපදෙස් ලබාදී තිබුණා.

ප්‍රදේශ කිහිපයකින්ම නායයාමේ සිද්ධීන් වාර්තාවීමත් සමග අනතුරුදායක කදුබෑවුම් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට කඩිනමින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දීමක් කළා.

ඉදිරි පැය 24 තුළ අඛන්ඩව වර්ෂාව පැවතුණහොත් නායයාමේ අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවයි එහි නායයැම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කලේ.

පවතින අයහපත් කාගුණය තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුල සැම ගංගාවක් අවට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් ගංගා ආසන්නයේ පදිංචි සියලූම පිරිස් වලට සිය නිවාස වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස රජය දැනුම් දෙනවා.

ගංවතුර තර්ජනය ඇති සැම ප්‍රදේශයකම පාසල් වසා දමා එම ස්ථානයන් හි අවතැන් වන ජනතාවට නවාතැන් ගැනිමට ඉඩ සලසන ලෙසද අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත දැනුම් දි ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

මේ අතර අවතැන් වු සහ පීඩාවට පත්වු ජනතාව බේරාගැනිමට සහ ඔවුන් ට සහන සැලසිම සදහා රජයට අමතර බෝට්ටු ලබා දිමට ධිවර හා සංචාරක බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර එම බෝට්ටු නාවික හමුදාව මගින් ගංවතුර පවතින ප්‍රදේශවලට යැවිමට කටයුතු කරන බවයි රජය පවසන්නේ.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා තත්ත්වය ඇති වූ ප්‍රදේශවල දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරින් සහ සියලූම ක්ෂේත්‍ර නිලධාරින්ගේ නිවාඩු නැවත දන්වනතුරු අවලංගු කර තිබෙනවා.

එමෙන්ම, ගංවතුර තර්ජනයට ලක්වී ඇති ප්‍රදේශවල යම් නිලධාරි හිඟයක් ඇතිවී තිබේ නම් විශ්‍රාමික  ඕනෑම රජයේ නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරි ඉටු කිරීමට අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබීමද විශේෂත්වයක්.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගංවතුරට කොටුවී සිටින ජනතාව මුදා ගැනීම සදහා අවශ්‍ය යාත්‍රා සැපයීමට ධීවර අමාත්‍යාංශය ද මෙහෙයුම් කමිටුවක් පත් කළා.

ඒ අනුව බෝට්ටු හා යාත්‍රා අවශ්‍ය නම් 071 64 53 402, 077 46 52 278 හෝ 077 34 10 575 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකියි.

එමෙන්ම, මුදා ගැනීමේ කටයුතු සදහා දැනුම්දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ද විශේෂ දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 0112 343 970 ඇමතීමෙන් අදාළ තොරතුරු ගුවන් හමුදාවට ලබාදිය හැකියි.

මේ අතර සහන සැලසීමේ කටයුතු සඳහා යුද හමුදාව තවත් දුරකථන අංක 2 ක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවට පත්වුවන්ට අවශ්‍ය සහන කටයුතු  සඳහා  0766907125 අංකය ද ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට පත්වුවන්ට 0766907206 අංකය ද අමතා අවශ්‍ය තොරතුරු දැනුම්දිය හැකියි.

අවශ්‍ය සහන සේවා සහ මුදා ගැනිම් කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය අඛණ්ඩව ලබාදී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේ‍්‍රඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කලා.

මේ වනවිට හමුදා භට පිරිස් 800ක් සහ ගුවන් හමුදාවට අයත්  ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ඇතුලූ යානා 06ක් මෙන්ම නාවික සහන භට කණ්ඩායම් 28 ක් ද ඒ සදහා යොදවා ඇති බවද ඔහු කියා සිටියා.

එසේම නාවික හමුදාව පුද්ගලයින් 387 දෙනෙකු මුදාගෙන තිබෙනවා. 

මේ අතර, මේ අතර, පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මේ මස 27 සහ 28 වනදා රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ 3වන ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත සහ විවෘත තරග විභාග කල් දමා තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම විභාග නැවත පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙනු ලබන අතර දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර අවලංගු කරන බවයි.

ඉදිරි පැය 48 තුලත් දිවයිනේ පලාත් කිහිපයකට මිලිමිටර් 150 ඉක්ම වු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම, අද පෙරවරු 09 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර් 615 යි දශම 1 ක්.

මීට අමතරව හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයට මිලිමීටර් 495 යි දශම 5 ක වර්ෂාවක් ඇද හැලී ඇති අතර, බටුවන්ගල, පාදුක්ක සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලට මිලිමීටර් 300 ඉක්ම වූ වැසි ඇද හැලූණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories