අනුර සේනානායකට ඇප

Friday, 02 June 2017 - 11:15

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රග්බි ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා.

ඒ තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සැකකරුගේ නීතිඥයින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයඳුම්පත කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලූණු අවස්ථාවේදියි.

කෙසේ වෙතත්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මහාධිකරණය මගින් අද ඇප නියම වුවද ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අදාළ ඇප නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත නොලැබීම හේතුවෙන්.

මහාධිකරණයේදී ඇප අයදුම්පත්‍රය අද සලකා බැලුණු අවස්ථාවේදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේ තම සේවාදායකයා වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඔහුට ඇප නියම කරන ලෙසයි.

දැඩි ඇප කොන්දේසි මත මෙම සැකකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණී ගිරිහාගම සඳහන් කළා.

ඒ අනුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3 ක් නියම කෙරුණු අතර ඉන් එක් අයෙකු ලගම ඥාතියෙකු විය යුතු බවයි විනිසුරුවරයා අවධාරණය කළේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණ භාරයට ගනු ලැබූ අතර සතියකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස  ද නියම කෙරුණා.

කෙසේ නමුත්, සාක්ෂිකරුවන්ට බලපෑමක් එල්ල කිරීමට උත්සාහ කළහොත් නඩු විභාගය අවසන් වනතුරු ඇප ලබාදීමකින් තොරව රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි විනිසුරුවරයා මෙහිදී කියා සිටියේ.

වසීම් තාජුඞීන් ඝාතන තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කළා.

අදාළ චෝදනාවටම ඝාතන සිද්ධිය වූ කාලවකවානුවේ බස්නාහිර පළාත භාරව සිටි අනුර සේනානායක අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ මැයි මස 23 වන දායි.

කෙසේ වෙතත්, තමන්ට ඇප ලබාදෙන ලෙස ඔහු අවස්ථා කිහිපයකදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම හේතුවෙනුයි අනුර සේනානායක සිය නීතිඥයින් මාර්ගයෙන් මහාධිකරණය වෙත ඇප අයදුම්පතක් යොමු කළේ.

මීට අදාළ නඩුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්සි හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු ලබන 15 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories