බැඳුම්කර ගනුදෙනුව ගැන හෙළි කිරීමක්

Wednesday, 12 July 2017 - 19:46

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ සියලු වංචා හා දූෂණ ලිඛිත සාක්ෂි සහිතව හෙළි කිරීමට තමන් සූදානම් බව වැඩතහනමට ලක්වූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ සමන් කුමාර මහතා අද බැඳුම්කර කොමිසම හමුවේ අවධාරණය කළා.

ඔහු පැවසුවේ ප්‍රබල ව්‍යාපාරිකයින් රැසක් එක්ව කළ වංචාවලට තමන්ව හසුකිරීමේ කුමන්ත්‍රණයක් දියත්වන බවයි.

වැඩ තහනමට ලක්වූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අද සාක්ෂි කූඩුවට නැගි වහාම විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසුණත් ඊට ඉඩ ලැබුණේ නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා මෙන්ම ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තමන්ට යාමට අවශ්‍ය නිවසටද, බන්ධනාගාරයටද යන්නයි.

අනතුරුව තමන්ගේ මැදිහත්වීමෙන් ලබාගත්, බිරිඳ සහ ඥාතීන්ගේ නම්වලින් ඇති වත්කම් පිළිබඳව සියලූ විස්තර සාක්ෂිකරු කොමිසම හමුවේ හෙළි කළා.

මැණික් අපනයන සමාගමක් ඇතුලු සමාගම් 3 ක හිමිකාරීත්වය ඇති රජයේ සේවකයෙකුගේ වැටුපක් ලබන සාක්ෂිකරු සතුව ඇති වාහන ගණන 5 ක්.

ඉන් බවුසර් දෙකක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කුළී පදනම මත ලබාදී තිබෙනවා.

ඊට අමතරව හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලක් ඇතුලු දේපළ රැසක හිමිකාරීත්වය පිළිබඳවද කරුණු කොමිසම හමුවේ අනාවරණ වුණා.

සාක්ෂිකරුගේ බිරිඳ නමින් රුපියල් ලක්ෂ 120 කට වැඩි ස්ථාවර තැන්පතු ඇති අතර, තැරැව්කාර ආයතන 3 ක් හරහා සාක්ෂිකරු කොටස් වෙළඳපොලේ ආයෝජනද  සිදුකරනවා.

මේ සියලු වත්කම්වල හිමිකරු බවට ඔහු පත්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලට අනුයුක්තව ඔහු සේවය කළ කාලයෙන් පසුවයි.

එහි ඔහුගේ රාජකාරිය වූයේ බැඳුම්කර මිලදී ගත යුත්තේ හා ඒවා අලෙවි කළ යුත්තේ කාටදැයි තීරණය කිරීමයි.

සාක්ෂිකරු සඳහන් කළේ තමන් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හඳුනාගත්තේ මෙම කාලයේදී බවටයි.

එම කාලසීමාව තුළ ඔහු භාවිතා කළ ස්මාට් ජංගම දුරකථනය මේ වනවිට අස්ථානගතව පවතින බවද සාක්ෂිකරු ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ වත්කම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී පිළිගැනීමට ලක්වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය ධුරයේ කටයුතු කරන ආකාරය යහපත් බවයි.

බැඳුම්කර සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට පැහැදිළි කිරීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් තමන්ව ඔහුගේ නියෝජිතයා ලෙස පත් කළ බවද ඔහු සඳහන් කළා.

සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කළ පොලී අනුපාත වෙනස් කිරීම ඇතුලු මහ බැංකුව තුළ සිදුවූ දූෂණ හා වංචා ලිඛිතව සාක්ෂි සහිතව හෙළි කළ හැකි බව සාක්ෂිකරු පැවසුවා.

ඔහු සඳහන් කළේ මෙම සාක්ෂි කෝප් කමිටුව හමුවේ හෙළි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සී.ජේ.පී. සිරිවර්ධන ඉඩ ලබානොදුන් බවයි.

සාක්ෂිකරුගේ සියලු ඩිජිටල් උපකරණ සහ ගමන් බලපත්‍ර සිය භාරයට ගන්නා බව කොමිසම ප්‍රකාශ කළා.

බැඳුම්කර ගණුදෙනුවලට සම්බන්ධ වී ඇති සාක්ෂිකරුගේ අසාමාන්‍ය වත්කම් හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කොමිසමේ වැඩකටයුතු ලබන සඳුදා දක්වා කල් දැමීමටයි එහි සභාපති විනිසුරුවරයා තීරණය කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories