ඉන්ධන බෙදා හැරීමෙන් යුධ හමුදාව ඉවත් වෙයි - තෙල් වෘත්තීය සමිතිවලින් එකඟතාවක්

Wednesday, 26 July 2017 - 18:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට වර්ජනයට එක්වූ වෘත්තිය සමිති තීරණය කිරිමත් සමග ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද පස්වරුවේ යථා තත්ත්වයට පත්වුණා.

ඒ අනුව අද අලූයම සිට එම කටයුතුවල නිරතවූ හමුදා සෙබළුන් ඉවත් කරගත් බවයි  හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

එසේම දිවයිනේ පිහිටි සියලූම තෙල් බෙදාහැරීමේ පර්යන්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවයි.

එතෙක් අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සේවකයින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව වර්ජනයට එක්ව සිටි සේවකයින් රැදී සිටි කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද අලූයම යුද හමුදා සාමාජිකයින් ඇතුළු වුණා.

එසේම වර්ජනයට සහාය නොදක්වන සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හමුදාව සහ පොලිසිය කටයුතු කළා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී තෙල් සංස්ථා සේවකයින් සහ හමුදා සාමාජිකයින් අතර ඇතිවූයේ උණුසුම්කාරි තත්ත්වයක්.

පසුව එම ස්ථානයෙන් ඉවත් කෙරුණු සේවකයන් අද උදෑසන කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් එහි ඉදිරිපිට රැඳී සිටියා.   

මේ අතර, අද දහවල් ගුවන් තොටුපලට ඉන්ධන රැගෙන යාම සඳහා  පැමිණි දුම්රියකට කොළොන්නාව තෙල් පර්යන්තයට ඇතුලූවීමට සේවකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

අප වාර්තාකරු සඳහන් කළේ සේවකයින් දුම්රිය මාර්ගය අවහිර කරමින් මාර්ගයේ බිම වාඩිවී එහි ගමන අවහිර කළ බවයි.

පසුව එම ස්ථානයට පොලීසිය සහ කැරළි මර්දන ඒකකය පැමිණ  තෙල් පර්යන්තය ඉදිරිපිට සහ දුම්රිය මාර්ගයේ රැඳී සිටි ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ඉවත් කිරීමට පියවර ගත්තා.  

එහිදී ද පොලීසිය, කැරළි මර්දන ඒකකය සහ සේවකයින් අතර ඇතිවූයේ  උණුසුම් තත්ත්වයක්.

එහිදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් ඇතුලූ සේවකයින් 16 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පොලිස් ඇප මත මුදාහළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔවුන් වැලිකඩ පොලීසියට ඉදිරිපත් කර සිටි අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම ස්ථානයට පැමිණි අතර, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ පොලිස් ස්ථානය තුළදී අත්අඩංගුවට ගත් ඇතමුන්ට පහරදී ඇති බවයි.

එමෙන්ම මැර කණ්ඩායම්ද සේවකයින්ට පහරදී ඇති බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඉන්ධන රැගෙන යාම සඳහා පැමිණි දුම්රිය පස්වරු 3.30 ට පමණ තෙල් ගබඩා පර්යන්තයට ඇතුලූවී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories