දිවයින පුරා පිරවුම්හල් රැසක තවමත් ඉන්ධන නැහැ

Thursday, 27 July 2017 - 12:44

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශවලට ඉන්ධන සැපයුම අද පස්වරුව වනවිට යථා තත්ත්වයට පත්වනු ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු  ඩී.ජේ. රාජකරුණා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඉන්ධන රැගත් බවුසර් බහුතරයක් මේ වනවිටත් කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවලින් පිටත්ව ගොස් ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේදී වර්ජනයේ නිරත සිය සාමාජිකයින්ට පහරදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළද පිරවුම්හල් රැසක ඉන්ධන ලබාදීමේ කටයුතු මේ වනවිටත් සිදුවන්නේ නැහැ.

හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ පිරවුම්හල් තවදුරටත් වසා දමා ඇති බවයි.   

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි වාර්තාවන්නේ.   

අම්පාර දිස්ත්‍රික්කයේ තවමත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු යථා තත්ත්වයට පත්ව නොමැති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් වවුනියාව දිස්ත්‍රික්කයේ සහ උතුර පළාතේ  ඉන්ධන පිරවුම්හල්වල කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු  කියා සිටියේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පිරවුම්හල්වල කටයුතු ද තවමත් නිසි පරිදි සිදු වන්නේ නැහැ.   

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඛනිජ තෙල් වෘත්තිය සමිති අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු ලබන අඟහරුවාදා තෙක් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කළා.   

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය සංස්ථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සේවකයින් පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ආරම්භ කළා.

කෙසේ වෙතත් පෙරේදා රාත්‍රියේ තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව වර්ජනයට එක්ව සිටි සේවකයින් රැදී සිටි කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ඊයේ අලූයම යුද හමුදා සාමාජිකයින් ඇතුළු වුණා.

ඊයේ දහවල් ගුවන් තොටුපලට ඉන්ධන රැගෙන යාම සඳහා  පැමිණි දුම්රියකට කොළොන්නාව තෙල් පර්යන්තයට ඇතුලූවීමට වර්ජනයට එක්ව සිටි සේවකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

පසුව එම ස්ථානයට පොලීසිය සහ කැරළි මර්දන ඒකකය පැමිණ  තෙල් පර්යන්තය ඉදිරිපිට සහ දුම්රිය මාර්ගයේ රැඳී සිටි ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ඉවත් කිරීමට පියවර ගත්තා.  

එම ස්ථානයට පොලූ මුගුරු රැගත් පිරිසක් ද පැමිණ වර්ජනයේ නිරත සේවකයන්ට පහර දී තිබුණා.   

කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් ඇතුලූ සේවකයින් 16 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව පොලිස් ඇප මත මුදාහළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories