ඇමති විජේදාස ගැන සෞඛ්‍ය ඇමති කතා කරයි

Monday, 21 August 2017 - 14:45

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අධිකරණ හා බුද්ධසාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පිළිබඳව, තවත් කැබිනට් අමාත්‍යවරයෙකු අදහස් පල කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවැත්වූ දොම්පේ, කිරිදිවැල, නව බස් නැවතුම්පල විවෘත කිරීමේ උත්සවයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙසේ අදහස් පළ කලා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“යහපාලන රජය බලයට පත්වන විට පොරොන්දු රැසක් ලබාදුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, පැහැරගැනීම් නතර කිරිම, ආගමික සහජීවනය ඇති කිරීම එම පොරොන්දු අතර ප්‍රධාන වෙනවා. පසුගිය රජය සමයේ දී මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වුනා. තාඩන, පීඩන වලට ලක් වුනා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ මිග් ගනුදෙනුවේ දුෂණ පිළිබදව පුවත්පත්වල ලිපි පළ කිරීම හේතුවෙන්. දේශප්‍රේමීන් යුද්ධ කළේ එහෙමයි. "

"නමුත් අද මාධ්‍යවේදීන්ට නිදහස ලබාදී තිබෙනවා. වත්මන් රජයට එරෙහිව මාධ්‍යයේ දිනපතාම ලිපි පළ වෙනවා. නමුත් වත්මන් රජය ම්නිසාට මිනිසත්කම ලබාදී තීබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ජනාධිපතිවරණයට පැමිණියේ විදේශීය රටවලින් මුදල් නොලැබීම හේතුවෙන්. ආර්ථික අමාරුව ඔහුට තේරුනා. මොකද විදේශීය රටවල් ආර්ථීක සම්බාධක පැනවීමටට තීන්දු කර තිබුනා. මෙ නිසා රට තුල සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවධානමත් තිබුනා. නව රජය රට තුල නොසීතු වෙනසක් ඇතිකරමින් පවතිනවා. ද්‍රවිඩ දේශපාලන පක්ෂ ඒකීය රාජ්‍යයක් තුල බලය බෙදාහැරීමට කැමැත්ත පළ කර තිබෙනවා.”

“වත්මන් රජයේ ඇතැම් ඇමැතිවරුන් කරන ප්‍රකාශ පිළිබද වේදනාවක් ඇතිවෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කරන ප්‍රකාශ වලට වඩා වේදනාවක් එමගින් ඇති වෙනවා. ඇතැම් ඇමැතිවරු ඇමැති වරප්‍රසාද තියාගෙන රජය විවේචනය කරනවා. නිදහස අයුතු ලෙස භාවිත කරනවා. පසුගිය රජයේ කථා නොකරපු ඇමැතිවරු අද වීරයෝ වගේ වෙලා. පසුගිය රජය සමයේ ඔවුන් කට වහගෙන හිටියේ. "

"වැරදි වැඩ කරනකොට ඒවා පෙන්නුවේ නැහැ. වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වලට රජගෙදරින් ලැබුනු දුරකථන ඇමැතුම් 46 පිළිබද පරීක්ෂණ පැවැත්වූවා. එම ඇමැතුම්  ලබාදී තිබෙන්නේ විහාරමහාදේවියයි. වර්තමානයේ සියලු දෙනාම අහන්නේ හොරුන්ට දඩුවම් දෙන්නේ කවදා ද කියලයි.”

“මේ රටේ අධිකරණ ඇමැතිවරයාගේ ගැටලු තිබෙනවා. වසර දෙකහමාරක් නඩු විභාග නොකර සිටිමට බලපෑම් කළේ අධිකරණ ඇමැතිවරයායි. මේ ගැන ප්‍රසිද්ධියේ කියන්න සිදුව තිබෙනවා. නඩු විභාග ප්‍රමාද වුනේ එම නිසයි. ජනාධිපතිරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ජනතාව ඉල්ලන්නේ හොරු අල්ලන්න කියලයි. ප්‍රසිද්ධියේ කථා කිරීමට අපහසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුත් අහන්නේ හොරු අල්ලන්නේ කවදා ද කියලා. නඩු විභාග යට ගහන්නේ අධිකරණ අමාත්‍යවරයායි. විශේෂ අධිකරණයක් ස්ථාපිත කර නඩු විභාග කරන්න තීරණය කළාම අධිකරණ අමාත්‍යවරයා කියනවා ඒ සදහා ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයයි කියලා. "

"පසුගිය රජය සමයේ ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනා පිළිබදව ද දිනපතාම නඩු ඇසිය යුතුයි. මම මේ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රශ්න කළා. හිටපු නීතිපති තිලක් මාරපන මහතා එය සනාථ කරමින් පිළිතුරු ලබාදුන්නා. විශේෂ අධිකරණ 03 ක් ස්ථාපිත කර නඩු විභාග ආරම්භ කළ හොත් යළි පොහොට්ටුව පිපෙන්නේ නැහැ. එය සාදාකාලික පොහොට්ටුවක් වෙනවා. හොරගල් අහුලපු රජයේ ඇමැතිවරුන්ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පක්ෂව කවුරුත් කථා කළේ නැහැ. චෝදනා කළා පමණයි."

"විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මැදවච්චියේ දී කියනවා පරපුරක් ගැන. එයා හැදුවේ ඇවන්ගාඩි පරපුර විතරයි. ආයුධ 3600 ක් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නඩුවේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් කළේ වත් නැහැ. රස පරික්ෂක වාර්තා වලින් කියවුනේ එම ආයුධවල අංක මකාදමලා කියලා. මෙහෙම රසපරික්ෂක වාර්තා ලබාදෙන ආයතනයක් බලුකිස්ථානයේවත් නැහැ කියලා මම කියනවා. "

"එහෙම ඇමැතිවරු ඉන්නෙත් ලංකාවේ විතරයි. ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කළේ නඩු නිමිත්තක් නැහැ කියලා. මම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් නීතිපති තීන්දුව නැවත විශ්ලේෂණය කර පරික්ෂණයක් පවත්වන්න කියලා.”

“බුද්ධ ශාසනයේ අයිතිය වෙනුවෙන් අද එම ඇමැතිවරයා කථා කරනවා. තනතුරින් ඉවත් කිරීමට සුදානම් වන අන්තිම කාලයේ එල්ලෙන්නේ ජාතියෙයි, ආගමෙයි. හොරුන් වෙනුවෙන් පෙනී ඉදලා තමයි ජාතිය, ආගම ගැන කථා කරන්නේ. සිංහල ජාතිය ගෝත්‍රිකයින් බව එම ඇමැතිවරයා කියනවා. නමුත් 2015 වසරේ දී මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කරන්නේ වෙනත් දෙයක්. මේ රට සිංහල රටක් නොවෙයි. ගෝත්‍රිකව කථා කරන්න එපා. ජාතිවාදය අවුස්සන්න එපා. කියලා එම ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කරනවා. නමුත් අද එම ඇමැතිවරයා සිංහල රටක් ගැනත්, බෞද්ධ රටක් ගැනත් කරුණු පැහැදිලි කරනවා."

"මගේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ගැනත් කරුණු ඉදිරිපත් කරනවා. ඒ ගැන මම ප්‍රසිද්ධියේ කථා කරන්නේ නැහැ. එම ඇමැතිවරයා ලගා තබාගෙන උත්තර දෙනවා. මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කර තිබෙන වැඩ වලින් දාහෙන් එකක් ඔහු කරලා නැහැ. කරලා තිබෙනවා නම් පෙන්වන්න. එවිට මම සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් ‍වෙන්නම්."

"ඩෙංගු ව්‍යවසනය ගැන කථා කරනවා. වර්තමානයේ ඇමරිකාව, සිංගප්පූරුව, ඉන්දියාව වැනි සංවර්ධිත රටවලත් ඩෙංගු උවදුර තිබෙනවා. ඩෙංගු වසංගතය කඩිනම්න් අවම කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබෙනවා. යහපාලන රජය පිහිටුවන විට සිටි වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා මේ වන විට රෝගීන් අඩු වී තිබෙනවා. වකුගඩු රෝගය එක දවසකින් අවම කරන්න බැහැ. ඊට බලපෑ හේතු සොයා ලෝක සෞඛ්‍ය සංව්ධානයත් පර්යේෂණ කරනවා. ‍"

"මට කියන්න තිබෙන්නේ මෙම අමාත්‍යවරයා වෛද්‍ය විද්‍යාව නොව නීති විද්‍යාව වත් හරියට දන්නේ නැහැ. මම ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත මෙම අමාත්‍යවරයාට යෑමට ඉඩ සළස්වන ලෙසයි. එවිට අපේ රජය ආරක්ෂා වනවා. වසර 2020 නොව වසර 2025 දක්වා මේ රජය ඉදිරියට ගෙන යන්න පුලුවන්.”

මෙම අවස්ථාවට අමාත්‍ය සරත් ෆොන්සේකාද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories