21 විරෝධතාව එලෙසමයි, කැන්ගරු දේශයෙනුත් සයිටම් ආයතනයට බාධකයක්

Saturday, 16 September 2017 - 18:36

21+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සයිටම් ආයතනයට වෛද්‍ය උපාධි සදහා සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ ද, ලබන 21 වනදා පාසල්, සරසවි සහ රෝහල් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළඹීමේ තීරණය එලෙසින්ම ක්‍රියාත්මක වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි සදහා සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළේ මෙම ගැටලූව සම්බන්ධයෙන් පත් කළ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව විසින් ලබාදුන් වාර්තාවේ අඩංගු නිර්දේශ අනුවයි.

මීට පෙර ද මෙලෙස මාස 6 ක කාලයකට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ පසුගිය පෙබරවාරි 14 වනදායි.

මේ අතර, ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන පරිදි වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සහ වෘත්තීයෙහි නිරත වීම සදහා එරට වෛද්‍ය සභාව පවත්වන මූලික පරීක්ෂණ සදහා සුදුසුකම් ලැබීමට මෙරට රජයේ සරසවි 8 ක උපාධිධාරින් සුදුසුකම් ලැබුව ද සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය ඊට ඇතුළත් වන්නේ නැහැ.

එමෙන්ම, මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව ද පසුගියදා සදහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ නොමැතිව කිසිදු වෛද්‍යවරයෙකුට එරට වෛද්‍ය වෘත්තීයෙහි නිරත වීමට හැකියාවක් ලබා දීමට නොහැකි බවයි.

මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කළුතර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ බ්‍රිතාන්‍යය වෛද්‍ය සභාවේ තීරණය මෙරට වෛද්‍ය සභාවේ තීරණයට සමාන බවයි.

ඔවුන් මෙරට සිටින වෛද්‍යවරුන් පිළිබඳව විමසීම් කරනු ලබන්නේද මෙරට වෛද්‍ය සභාවෙන් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ද සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් කියා සිටියේ සයිටම් අර්බුදය පිළිබඳව රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories