විදුලි වර්ජනය අවසන්

Thursday, 21 September 2017 - 7:06

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දින 08 ක් පුරා විදුලිබල වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය ඊයේ රාත්‍රියේ අවසන් කෙරුණා.

ඒ, ඉංජිනේරුවන් හැර අනෙකුත් සියලූම සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය සහ වෘත්තීය සමිති අතර ඇතිකරගත් ගිවිසුමකින් සහ කම්කරු අමාත්‍යවරයා සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින්ද අනතුරුවයි.

අදාළ ගිවිසුම පරිදි ලංකා විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ තීරණය කළේ ඉංජිනේරුවන් හැර තාක්ෂණ නිලධාරීන්ට 13% ක සහ තාක්ෂණික නොවන සේවකයින්ට 06% ක වැටුප් වැඩිවීමක් ලබාදීමටයි.

මෙම වැටුප් වැඩිවීම මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ හිඟ මුදල් වාරික දෙකකින් ගෙවීමටත් අදාළ ගිවිසුම මගින් එකඟ වී තිබෙනවා.

එමෙන්ම, මෙම වර්ජනයට සහභාගි වූ අනියම් ආදේශක, පරිවාස, පුහුණු හා අභ්‍යාසලාභී යන සේවකයින් සියලූ දෙනා සඳහා නිකුත් කර ඇති සේවය අතහැර ගියා සේ සැලකෙන ලිපි ඉවත් කර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමටද මෙහිදී විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය එකඟතාව පළ කළ බවයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සඳහා ඊයේ පස්වරුවේ විදුලිබල වෘත්තීය සමිති සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී විදුලිබල වෘත්තීය සමිති සහ විදුලිබල මණ්ඩලය අතර ගිවිසුමකට එළැඹීමට තීරණය කළත්, එහි ඇතැම් වගන්තිවලට වෘත්තීය සමිති විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

අනතුරුව වගන්ති කිහිපයකට සංශෝධන එක් කිරීමෙන් අනතුරුව පැය 08 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව අවසන් කෙරුණේ වෘත්තීය සමිති නායකයන් වර්ජනය අවසන් කිරීමට තීරණය කිරීමත් සමඟයි.  

පැවති වර්ජනය අවසන් වීමත් සමඟ අද සිට සුපුරුදු පරිදි රාජකාරීයට වාර්තා කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories