අධිකරණයට අපහාස කළ බවට වන පෙත්සමට අධිකරණයේ පෙනී සිටින්නැයි රන්ජන්ට නියෝග

Thursday, 12 October 2017 - 11:52

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ලබන 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නොතිසී නිකුත් කළා.

ඒ, ඔහු අධිකරණයට අපහාස වන ලෙස සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බලමින්.

මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය අගෝස්තු මස 21 වැනිදා චෝදනා සිදුකළා.

අධිකරණයට අපහාස වන ආකාරයෙන් සිදුකළ මෙම ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සුනිල් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනුකළා.

අදාළ පෙත්සම් දෙක මගින් පෙත්සම්කරුවන් අධිකරණයට දන්වා සිටියේ අගෝස්තු මස 21 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් නියෝජ්‍ය රන්ජන් රාමනායක බහුතරයක් විනිසුරුවරුන් හා නීතිඥයින් දුෂිත පුද්ගලයින් බවට ප්‍රකාශ කළ බවයි.

නීති සම්පාදනය කෙරෙන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු සිදුකළ එවැනි ප්‍රකාශයකින් නීතිය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ වැටෙන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා.

ඔවුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා ඇත්තේ එමඟින් අධිකරණයට අපහාසයක්ද සිදුකර ඇති බවයි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර රන්ජන් රාමනායකට දඬුවම් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම පෙත්සම් අද සලකා බැලූවේ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්. පෙත්සම්වල අඩංගු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට තීරණය කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසී නිකුත් කෙරුණේ ඒ අනුවයි.

මේ අතර, රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අති බහුතරයක් දුෂිත බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අදාළ ලිපිලේඛණ සහ වීඩියෝ පට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පසුගියදා භාර දුන්නා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහා සංඝ රත්නයට, විනිසුරුවරුන්ට සහ නීතීඥවරුන්ට චෝදනා කරමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මීට පෙර විවිධ අදහස් පළ වුණා.

අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මහනුවරදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසින්.

‘‘ආගම්වලට නින්දා අපහාස කරන, කිසිදු විචාරයක් නැතිව හැසිරෙන ඒ සමාජ ද්‍රෝහී පුද්ගලයන් දේශපාලනය තුළට ගෙන ඒම පක්ෂ නායකයන් සිදුකරන වරදක්. අපි ජනතාවට සිහිපත් කරන්නේ පක්ෂ නායකයන්ට සිහිපත් කරන්නේ, මෙවැනි බුදුදහමට, වෙනත් ආගම්වලට, ජාතිකත්වයට නින්දා අපහාස කරන පුද්ගලයන් සමාජයේ ඉහළ තනතුරුවලට, නැත්නම් මහජන නියෝජිතත්වයට පත් කිරීමෙන් වැළකී සිටින ලෙසයි. ’’

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමට සූදානම් නොවන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දැනුම්දෙන බවයි.

‘‘සද්ද විද්ද පලඟ පතිර අඹකුමාරගේ රංජන් රාමනායක. අපි ඔහුට මතක් කරන්නට ඕන. දිගින් දිගටම භික්ෂූණ් වහන්සේලා ඉලක්ක කරගෙන දැඩි ලෙස අපහාසාත්මක විදියකට කටයුතු කරනවා. කතා කරනවා. ඒක නිසා සිල් රෙදි සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක බෞද්ධ ජනසමාජයේ ප්‍රශ්නයක්. ඒ, බෞද්ධ ජනසමාජයේ ප්‍රශ්නවලට රංජන් රාමනායක කියන අන්‍යාගමික දේශපාලනඥයා ඒවට මැදිහත් නොවිය යුතුයි. භික්ෂූණ් වහන්සේලා ඊඵඋ එකකින් යනවද, නැවකින් යනවද කියන අදාළ වෙන්නේ නෑ. මොකද හේතුව ඒක බෞද්ධ ජනසමාජයේ ඉන්න බෞද්ධයන් විසින් පරිත්‍යාග කරන දේවල්වලින් තමයි භික්ෂූණ් වහන්සේලා ඒ ගමන් බිමන් යන යාන වාහන තීරණය වෙන්නේ. ඒක නිසාවෙන් රංජන් රාමනායකට අපි මතක් කරනවා, අනවශ්‍ය ගොන් පාට් දාලා භික්ෂූණ් වහන්සේලාට තරවටු කරන්න, භික්ෂූණ් වහන්සේලාට අපහාස කරන්න ලෑස්ති වෙන්න එපා. ’’

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අදහස් දැක්වූයේ මෙලෙසින්.

අහෝ ඉරකි, තිතකි....තිත් ගොඩකි......යහපාලන ආණ්ඩුව ජරාවකි. අද වෙනකොට යහපාලන ආණ්ඩුවේ සිටින ඇමතීන්ට සංඝරත්නය ඇලජික් වෙලා. ඒ නිසා තමයි අපේ මහා සංඝරත්නයට අපහාස කරන්නේ, නින්දා කරන්නේ, විවිධ චෝදනා කරන්නේ මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න බයිස්කෝප්කාරයා. මේ යහපාලන ආණ්ඩුවේ අවසානය තමයි මේ ගෙවාගෙන යන්නේ. මෙවැනි ප්‍රකාශ කරන්නේ පැහැදිලිවම ආගමක් ජාතියක් නැති මහ පාපතර දේශපාලන නායකයෝ හැටියටයි අපි මේ අයව දකින්නේ. අගමැතිතුමාට කියනවා මේ බුරන බල්ලෝ ඉතා ඉක්මනින් කට වැහුවේ නැති වුනොත්, මේ සමස්ත රටේ ඉන්න ජනතාව මුන්ගේ කටවල් කපන දවස වැඩි ඈතක නෑ කියන පණිවුඩය දෙනවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අදහස් දක්වා සිටියා.

‘‘අපි දැක්කා ඊයේ රන්ජන් රාමනායක අපේ සහෝදර ඇමතිතුමා මහා සංඝරත්නය දැඩි සේ විවේචනය කරනවා. ආගමික නායකයෝ දැඩි සේ විවේචනය කරනවා. නීතිඥවරුන්ගේ සංගමය, නීතිඥවරුන්, විනිසුරුවන් දැඩි සේ විවේචනය කරනවා විතරක් නෙවෙයි, නීතිඥ සංගමයට අභියෝග කරනවා පුළුවන් නම් මාව නඩු දාලා හිරේ දාන්නෙයි කියලා. ඉතිං අද මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු නීතිය අතට අරගෙන. ඕක තමයි වෙන්නේ ගරු අගමැතිතුමා පසුපෙල මන්ත්‍රීවරු ගෙනල්ලා නීතිපතිට බැන්නුවාම මේ පසුපෙල මන්ත්‍රීවරු නීතියට තියෙන, අධිකරණයට තියෙන ගෞරවය නැතිවෙනවා. ඉතිං අද වෙලා තියෙන්නේ මොකක්ද ඇමතිවරු ආගමික නායකයන්ට බනින්න පටන් අරගෙන, අධිකරණයට බනින්න පටන් අරගෙන, විනිසුරුවන්ට පෞද්ගලිකව නම කියලා බනින්න පටන් අරගෙන, නීතිඥවරුන්ට බනින්න පටන් අරගෙන. ’’

එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ද අදහස් දක්වා සිටියා.

‘‘මේ රටේ අති පූජණීයවූත්, වන්දනීයවූත් මහා සංඝරත්නයෙන් සමාව අයැද සිටිනවා, ඒ වගේ පහත් ප්‍රකාශයක් රංජන් රාමනායක අමාත්‍යවරයා කතෝලිකයෙකු හැටියට කිරීම සම්බන්ධයෙන්. එක පැත්තකින් විනිසුරුවරුන්ට බැන්නා, තව පැත්තකින් නීතිඥවරුන්ට බැන්නා, තව පැත්තකින් ස්වාමීන් වහන්සේලාට බැන්නා. ඒ අය කන බොන හැටි කියලා බැන්නා. ඒ අය වාහන පදින එක ගැන කියලා බැන්නා. මං හිතන්නේ එතුමා මේ සමාජය ගැන වෛරයකින් පසුවෙන්නේ. ඒ ගැන අපිට පුදුම වෙන්න දෙයක් නෑ.’’

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ

‘‘කාදිනල් පියතුමා පවා කියලා තියෙනවා මේක බෞද්ධ රටක්. ඉතිං කතෝලිකයෝ වශයෙන් සංඝයා වහන්සේලාට මේ වගේ නින්දා අපහාස කිරීම මං හිතන්නේ මුළු කතෝලික ප්‍රජාවම සම්පූර්ණයෙන්ම ඒක හෙළා දැකිය යුතු කාරණයක්. රංජන් රාමනායකට කියනවා මේ බෞද්ධයින්ගේ ඉවසීම, ඉවසීමේ සීමාව පරීක්ෂා කරන්න එපා. අපේ සහෝදර කතෝලික ප්‍රජාවටම කරන ලද නින්දාවක්’’ යනුවෙන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories