බැඳුම්කර කොමිසමේ කාලය යළි දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් ?

Monday, 16 October 2017 - 18:45

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F
මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ කාලය තෙවන වරටත් දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව කොමිසමට සමීප ආරංචි මාර්ග සඳහන් කළා.

සාක්ෂි විමසීම පසුගිය සතියේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවට කොමිසමේ සාමාජිකයින් ප්‍රකාශ කළ ද අදත් මූල්‍ය මණ්ඩල සාමාජික නිහාල් ෆොන්සේකාගෙන් කොමිසම සාක්ෂි විමසුවා.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සිය සහෝදර සමාගම් වෙත මුදල් හුවමාරු කර යළි එම මුදල් නෝට්ටු ලෙසින් එම සමාගමටම ලබා ගත හැකි ආකාරය දැක්වෙන ලේඛන කොමිසමේදී අද ඉදිරිපත් කෙරුණා.

ඒ, ඒ පිළිබදව බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස දීර්ඝ කාලීන පළපුරුද්දක් ඇති නිහාල් ෆොන්සේකාගේ අදහස් විමසීමටයි.

මෙම ලේඛන අධ්‍යයනය කර සාක්ෂිකරු ප්‍රකාශ කළේ සමාගමක් මෙවන් ක්‍රමයක් අනුගමනය කරන්නේ අවසානයේ මුදල් ලබා ගන්නේ කවුරුන්දැයි සැඟවීමට බවයි.

2016 වසරේ මාර්තු මස 29 වන දින සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී සේවක අර්ථසාධක අරමුදලින් අඩු පොළියට රජයට ණය ලබා ගැනීමට හැකියාව තිබියදී පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් වැඩි පොළියට මහබැංකුව ණය ලබාගෙන ඇති බව රජයේ නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළා.

සාක්ෂිකරු සඳහන් කළේ මේ හේතුවෙන් මහබැංකුවට සිදුවු පාඩුව රුපියල් මිලියන 550කට අධික බවයි.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවූ දිනයේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පොලී අනුපාත වෙනස් කිරීමට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් සාක්ෂිකරු අනතුරුව අදහස් පළ කළා.

නිහාල් ෆොන්සේකා එහිදී කියා සිටියේ මහබැංකු අධිපතිවරයා එලෙස පොලී අනුපාත වෙනස් කළ ද ඒ සඳහා බලය ඇත්තේ මූල්‍ය මණ්ඩලයට බවයි.

එමෙන්ම ඔහු කියා සිටියේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවූ දිනයේ නවතා දැමුණු ඍජු ස්ථානගත කිරීම් හරහා රජයට ණය ලබා ගැනීමේ ක්‍රමය මූල්‍ය මණ්ඩලයේ සාකච්ඡාවකින් තොරව හදිසියේ නවතා දැමීම යෝග්‍ය නොවන බවයි. ඉන් පොලී අනුපාත ඉහළ ගිය බව ද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

මේ අතර, කොමිසම අද නියෝග කළේ අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම් ස්ටීව් සැමුවෙල්ට හෙට දිනයේදී අනිවාර්යෙන්ම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.

පසුගිය බ්‍රහස්පතින්දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණ ද පපු ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ඔහු පෞද්ගලික රෝහලට ඇතුළත් වූ අතර, මේ වන විට ඉන් පිටව ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories