ආපදාවලින් 11 දෙනෙකු මිය ගොස්, 5ක් අතුරුදන් - පීඩාවට පත්වූවන් 60,000 ඉක්මවයි

Friday, 01 December 2017 - 19:21

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%2C+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+60%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පවතින වර්ෂාපතනයත් සමඟ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, මේ වනවිට නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවල ජල මට්ටම තවදුරටත් සුළු වශයෙන් ඉහළ යමින් පවතින බවයි එහි අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි කියා සිටියේ.

නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ අද පස්වරුව වනවිට අධික ගංවතුර තත්ත්වයක් දක්වා එහි පානදුගම ජල මාපාංකයේ අගය සටහන් වී තිබුණා.

අද පස්වරු 03ට එම දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයේ දැක්වුණේ කිරම ආරද සපුගොඩ ජල මාපාංකයේදී සුළු ගංවතුර මට්ටමක් පෙන්නුම් කරන බවයි.

ගිං ගඟේ ජල මට්ටම, ගාල්ල - බද්දේගමින් පහළ කොටසේදී සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර, කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගං වතුර මට්ටමකට පැමිණ තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉහත ගංඟාවල ඉහල ධාරා ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති බවයි.

ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ භට කණ්ඩායම් 214 ක් සූදානමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

ආපදා හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 52ක්. දොඩංදූව  ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ගොස් අතුරුදන්ව සිටි ධීවරයින්  තුන්දෙනාගේ සිරුරු මුහුදේ පාවෙමින් තිබියදී අද සොයා ගනු ලැබුවා.

ඉන් සිරුරු දෙකක් තෙල්වත්ත - සීනිගම දේවාලය අසල මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් අතර, අනෙක් මළ සිරුර අම්බලන්ගොඩ - ඌරවත්ත වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

එම යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකුගේ සිරුරු මීට පෙර සොයා ගත්තා.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ට් ලාල් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අයහපත් කාලගුණයෙන් ධීවර යාත්‍රා 30 කට පමණ අර්ධ හානි සිදුවී ඇති බවයි.

මේ අතර, කඹුරුපිටිය - පලොල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.

අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 14 ක පවුල් 18,752 කට අයත් පුද්ගලයින් 61,125 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

රත්නපුර, මහනුවර, ගාල්ල, මාතලේ, බදුල්ල, හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික් සඳහා පනවා ඇති නාය යාමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

දැඩි සුළං තත්ත්වයත් සමඟ ගස් කඩා වැටීම් නිසා ප්‍රදේශ රැසකින් වාර්තා වූ විදුලි විසන්ධිවීම් වලින් 50% ක් පමණ මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ ඉතිරි විදුලිය විසන්ධිවීම් හෙට දිනය වනවිට යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේදී පැයට කිලෝමීටර් 60 ක උපරිම වේගයක් පවත්වා ගන්නා ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්.  ඕපනායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම, මාතර - එළියකන්ද නායයාමේ අවදානම හේතුවෙන් බ්‍රවුන්ස්හිල් සිට මාතර නගරය දක්වා දිවෙන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ හුවමාරු මධ්‍යස්ථාන දෙකකින් පිටතට ගමන් කිරීමේදී මේ වනවිට බාධා හටගෙන තිබෙනවා.

කොක්මාදූව සහ වැලිපැන්න යන හුමවාරුවලින් පිටතට ගමන් කිරීමේදී මෙම බාධා මතුව ඇත්තේ වැසි ජලය එක්රැස් වීම හේතුවෙන්.
 
එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කටයුතු නැවත දැනුම් දෙන තුරු නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

එම දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගස් අතු කඩා වැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories