මැදියම් රැයේ උදා වූ අසිරිමත් නත්තල කිතුණු බැතිමතුන් හරසරින් සමරයි (ඡායාරූප)

Monday, 25 December 2017 - 6:45

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මෙලොවට බිහි වූ දිනය වශයෙන් ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදාවුණා.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී කිතුණු බැතිමතුන් එය සැමරුවේ මහත් උද්යෝගයෙන්.

රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පාප් වහන්සේ ලෝකවාසී ජනතාවට ආශීර්වාද පැතූ අතර, නත්තල් පණිවුඩයද දේශනා කළා.

මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ රාත්‍රි 11.45 ට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රාගම ශාන්ත පීතර හා පාවුලු දේවස්ථානයේදී පැවැත්වුණා.

එහිදී කොළඹ අගරදගුරු හිමියන් නත්තල් පණිවුඩය ඉදිරිපත් කරමින් රටවාසීන්ට හා ලෝකවාසීන්ට සාමය ප්‍රාර්ථනා කළා.

ඊට අමතරව දිවයින පුරා දේවස්ථාන සියල්ලගේම පාහේ විශේෂ නත්තල් දේව මෙහෙයන් පැවැත්වුණා.

මේ අතර, දේවයත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණගැසෙන අපූර්ව සන්ධිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුර මානව ඉතිහාසයේ සුවිශේෂී භූමිකාවක් හිමිකරගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

උදා වූ නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ අද මුළු මහත් ලෝකය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග පිළිබදව සලකා බැලීමේදී අප ඊට විසදුම් සොයා යා යුතු මඟ කිතු දහම තුළ මැනවින් සටහන් කර ඇති බවයි.

එමෙන්ම මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී පවතින සෑම ගිනි අවියක්ම නිහඬ කර, සාමය, සිසිල තුළ අනාගතය ප්‍රභාමත් කර ගත හැක්කේ එවන් මඟක ගමන් කිරීමෙන් බව ද ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා.

ශුද්ධ වූ බයිබලයේ සඳහන් ආකාරයට අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොටගෙන යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද අප සමාජය ඉල්ලා සිටින්නේ වාර්ගික සහ ආගමික භේද ඉක්ම වූ සාමය, සංහිඳියාව පිරුණු යහපත් පරිසරයක් බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජනතාව පීඩනයට පත් කරන පාලනයට එරෙහිව මතවාදී අවිය එසවූ අයෙකු බවයි.

අසල්වැසියාට එරෙහිව අවි අමෝරා ගනු වෙනුවට ප්‍රේමය, සහෝදරත්වය වැනි මානව ගුණාංගවලින් අසල්වැසියා සමඟ ගනුදෙනු කිරීමට උගන්වන උන්වහන්සේගේ චින්තනය අදට වටිනා පණිවුඩයක් බවයි ඔවුන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ.







ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories