O/L ගණිතයේ ලකුණුවල වෙනසක් - A/L ප්‍රතිඵලත් අද මධ්‍යම රාත්‍රියේ

Wednesday, 27 December 2017 - 14:53

O%2FL+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+A%2FL+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ අන්තර් ජාලයට මුදා හරින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට තැපැල් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ගැටළුවලට ලකුණු ලබාදීමේ පටිපාටිය සංශෝධනයක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී සිසුන් දුෂ්කරතාවයන්ට පත්වූ බවට ඇතැම් දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති මීට පෙර කරුණු අනාවරණ කර තිබුණා.

එම ගැටළු සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විමසීමක් කර ඇති අතර එහිදී ගණිතය ප්‍රශ්න පත්‍රය සැකසූ පරීක්ෂකවරුන් සමඟ ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන් අනතුරුව ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ගැටළු සම්බන්ධයෙන් ලකුණු ලබාදීමේ පටිපාටියේ සංශෝධනයක් සිදුකිරීමට මෙලෙස තීරණය කර තිබෙනවා.   

එසේම 2017 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ පාසල් ඉල්ලූම් කිරීම සම්බන්ධයෙන් වන අභියාචනා භාර ගැනීම ජනවාරි 15 වන දා ආරම්භ වනවා.

එය පෙබරවාරි 15 වන දා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර දීපව්‍යාප්තව සියලූ පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව මේ මස 30 සහ 31 යන දෙදින තුළ මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories