උසස් පෙළ ලියූ 205කගේ ප්‍රතිඵල අත්හිටුවයි

Thursday, 28 December 2017 - 9:41

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96+205%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මේ වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයට පෙනී සිට ඒ ඒ විෂය ධාර වලින් දිවයිනේ ප්‍රථමයන් වෙමින් ජයග්‍රහණ ලබාගත් සිසු දරු දැරියන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ගණිත අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වූයේ පේදුරුතුඩුව - හාර්ඞ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාරකන් සිසුවායි.

ගණිත අංශයේ දිවයිනේ දෙවන ස්ථානය ගම්පහ - බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත සෝමරත්නටත්, තුන්වන ස්ථානය යාපනය - ශාන්ත පැක්ටි‍්‍රක් විද්‍යාලයේ පෝල් ජාන්සන් සිසුවා විසිනුත් හිමිකරගෙන තිබෙනවා.

ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය මාතර - සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සිසුවිය විසින් හිමිකර ගත්තා.

ජීව විද්‍යා අංශයේ දිවයිනේ දෙවන ස්ථානය හලාවත - ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ හසිත ගීත් ගුණසිංහ සිසුවා විසින් ලබාගෙන ඇති අතර තුන්වන ස්ථානය කොළඹ - ආනන්ද විද්‍යාලයේ ඉෂාන් ශාලූක රාමනායක සිසුවා හිමිකර ගත්තා.

වාණිජ්‍ය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි වුයේ ද මාතර - සුජාතා විද්‍යාලයටයි. දුලානි රසන්තිකා සිසුවිය මෙම ජයග්‍රහණයට හිමිකම් කියනු ලැබුවා.

වාණිජ්‍ය අංශයේ දෙවන ස්ථානය කොළඹ - මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා සුභාෂිණී දාබරේ සිසුවියත්, තුන්වන ස්ථානය කොළඹ - ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ෆාතිමා අකීලා ඉස්වර් සිසුවිය විසිනුත් හිමිකරගෙන තිබෙනවා.

කලා අංශයේ ප්‍රථම ස්ථානය රත්නපුර - සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරිය මුනින්දවංශ හිමියන් විසින් හිමි කර ගත්තා.

කලා අංශයේ දෙවන ස්ථානය කොළඹ - සී. එම්. එස්. බාලිකා විද්‍යාලයේ සහෙලි ආචනා වික්‍රමනායක විසිනුත්, තුන්වන ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිල්කි සදුපමා විසිනුත් හිමි කරගෙන තිබෙනවා.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරවේ දිවයිනේ ප්‍රථම ස්ථානය මාතර - මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමි ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි විසිනුයි දිනාගනු ලැබුවේ.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරවෙන් දෙවන ස්ථානය මාතර - නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රගති ඉෂාන් මධුශන්ක සහ තුන්වන ස්ථානය කුලියාපිටිය - මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ පසිදු ලක්ෂාන් අධිපත්තු හිමිකර ගෙන තිබෙනවා.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ රත්නපුර - සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම සිසුවාටයි.  

දෙවන ස්ථානය හම්බන්තොට - දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ රමේෂා ශ්‍රීමාලි සිසුවිය විසිනුත්, තුන්වන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ කමලේෂ්වරි සෙන්දිල්නාදන් සිසුවිය විසිනුත් හිමිකරගෙන තිබෙනවා.

පොදු වෙනත් විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග සිසුවිය විසින් හිමි කරගත්තා.

එහි දෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ශවීන් භාෂිත තිලකරත්න සිසුවිය සහ තුන්වන ස්ථානය මිනුවන්ගොඩ මැසනඞ් විද්‍යාලයේ දියොල් බ්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් සිසුවා විසින් හිමි කරගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත කියා සිටියේ පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුන්ලක්ෂ 15,227 දෙනාගෙන් එක් ලක්ෂ 63 දහස් 104 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

එමෙන්ම අපේක්ෂකයන් 205 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇති බවද ඔහු සඳහන් කළා.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට එක්කළ අතර අද පෙරවරු 10න් පසු කොළඹ ප්‍රදේශයේ පාසල් වලටත් අනෙත් පාසල්වලට තැපැල් මගින් යැවීමටත් කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් නැවත සමීක්ෂණය සඳහා ලබන වසරේ ජනවාරි 15 වන දා දක්වා ඉල්ලූම් කළ හැකි බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ප්‍රතිඵල ගැන විමසීමට අවශ්‍ය නම් 011 27 84 208, 011 27 84 537 හෝ 011 31 40 314 යන දුරකතන අංකවලට ඇමතීමෙන් දැනගත හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories