ජනපති පදවි ප්‍රාප්ති තෙවන සංවත්සරය අද, මොරගහකන්ද ව්‍යාපෘතිය සහ රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට

Monday, 08 January 2018 - 7:26

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%2C+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයට පත්වී අදට (08) වසර 03 ක් සපිරෙනවා.

2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ ඡන්ද හැට දෙලක්ෂ දහහත් දහස් එකසිය හැට දෙකක් ලබාගනිමින්.

මෙම පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමීව අද (08) දිනයේදී රාජ්‍ය උත්සව කිහිපයක් සංවිධාන කර තිබෙනවා.

එමෙන්ම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සහ රාජගිරිය ගුවන් පාලමද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අද විවෘත කිරීමට නියමිතයි.

දශක 04 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙසයි මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ.

සිනෝ හයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාරදීමද මෙහිදී සිදු කෙරෙනු ඇති.

මහවැලි ව්‍යාපෘතියේ 40 වන සැමරුම් රාජ්‍ය උත්සවය සහ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ පංචමහා ජලාශ ඉදිකිරීමේ කටයුතු නිමාව සනිටුහන් කිරීමේ රාජ්‍ය උත්සවයද මීට සමගාමීව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල වේල්ල අසළදී අද පස්වරුවේ පැවැත්වෙනවා.

මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හයලක්ෂ හැටදහසක් වන අතර, එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයක්.

මෙමගින් කුඹුරු අක්කර ලක්ෂ 03 ක් අලුතින් අස්වද්දවා පුද්ගලයින් ලක්ෂ 15 කට සෙත සළසන අතර, පුද්ගලයින් ලක්ෂ තුනකට පිරිසිදු පානීය ජලයද ලබාදීමට නියමිතයි.

උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට මෙමඟින් ජලය සැපයෙනු ඇති.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 181, 000 ක්. මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 28,952.1 ක ණය මුදලක් ලබාදී තිබෙනවා.

එසේම දේශීය අරමුදල්වලින් මිලියන 4920.5 ක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ.

මෙරට දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රීට් කරන ලද වේල්ලක් මෙන්ම පස්වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයක්.

මෙම ජලාශ ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 25 ක විදුලිය ධාරිතාවක්ද ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතයි.

මේ අතර, දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත්කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින් රාජගිරිය මංසන්ධියේ ඉදිකළ නව ගුවන් පාලම ද අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ දිගම ගුවන් පාලම ලෙසයි හැඳින්වෙන්නේ.
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories