ඌව පළාත් මහ ඇමතිට ඇප (ඡායාරූප)

Tuesday, 23 January 2018 - 14:35

%E0%B6%8C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අද ඇප මත මුදාහැරුණා.

බදුල්ල මහේස්ත්‍රාත්  නයන්ත සමරතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ප්‍රධාන අමාත්‍යවරයාව රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.

ප්‍රධාන අමාත්‍යවරයා අද උදෑසන නීතීඥයෙකු මාර්ගයෙන් බදුල්ල පොලීසියට භාරවීමෙන් අනතුරුවයි බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ.

එහිදී පොලීසිය, බී වාර්තාවක් මගින් රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුලූ චෝදනා 4 ක් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබුණා. කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රධාන අමාත්‍යවරයාව ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර, නඩුව මැයි මස 16 වනදා කැඳවීමටයි තීරණය කළේ.

ඇප ලැබීමෙන් අනතුරුව නිල නිවසට පැමිණි මහ ඇමතිවරයාව පිළිගැනීමට උත්සවයක් ද සංවිධාන කර තිබූ අතර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාද එම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී භික්ෂුන් වහන්සේලා පිරිසක් ප්‍රධාන අමාත්‍යවරයාට පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.   

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කර මාතර, කොටහේන සහ ඌව පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට ගුරු සංගම් විරෝධතා සංවිධාන කර තිබුණා.

ඌව පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ඌව පළාත් ලේකම් ප්‍රියන්ත වරුසමාන කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මේ අතර චෝදනා එල්ලවන ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආර්.එම්.බී. රත්නායක ඇතුලූ පළාත් අධ්‍යාපන බලධාරීන් සහ දණ ගැස්සවීමේ සිද්ධියට මුහුණදුන් විදුහල්පතිනිය අධ්‍යාපන සහ මානව සම්පත් ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවා තිබුණා.

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බවයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් කියා සිටියේ.

කාරක සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි කියා සිටියේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවයි.

නඩුව මැයි මස 16 වනදා යළි කැඳවීමට නියමිතයි.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories