බෙල්ලන්විල නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය 8 වනදා

Saturday, 03 February 2018 - 20:01

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+8+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ පෙබරවාරි මස 8 වනදා සිදුකිරීමට නියමිතයි.

එදින පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ආදාහන පූජෝත්සවය සිදුකිරීමට තීරණය කෙරුණේ ඒ සම්බන්ධයෙන් පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති විශේෂ රැස්වීමකදීයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලංකාර මහ නාහිමියන් මුලසුන හෙබ වූ මෙම සාකච්ඡාව සඳහා මහා සංඝරත්නය කතානායකවරයා ඇතුලූ දේශපාලනඥයින් පැමිණ සිටියා.

හදිසි අනතුරකට ලක්ව රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත්වුණේ අද  පෙරවරුවේදීයි.

විහාරස්ථානයේ මියන් කුමාර නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදීයි සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට රෝහලේදී පැය 10 ක පමණ ශල්‍යකර්මයක් සිදුකර තිබුණු අතර, ඒ උන්වහන්සේගේ ඉළඇට 10 කට ආසන්න සංඛ්‍යාවක් සහ දකුණු උරහිසේ අස්ථිය බිඳී ගොස් තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සසුන් කෙත ඒකාලෝක කරමින් වැඩ විසූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් 75 වසරක් ආයු වළඳා අද පෙරවරුවේ අපවත් වුණා.

නාහිමියන්ගේ අපවත්වීම සැලවීමත් සමඟ උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ කොළඹ පෞද්ගලික රෝහල වෙත මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.

මේ අතර, කළුතර ප්‍රදේශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් හිලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් රජයෙන් ඉල්ලා සිටියේ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන කටයුතු සිදුකරන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසයි.

1942 වසරේ අප්‍රේල් 14 වැනිදා කළුතර බණ්ඩාරගම ප්‍රදේශයේදී උපත ලැබූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් දෙහිවල - නිකපේ විජයරාජ විද්‍යාලයෙන් සහ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනු ලැබුවා.

පසුව 1958 වසරේ පෙබරවාරි 28 වැනිදා එවක බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි වනු ලැබුවේ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් නමින්.

අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති සහ ආචාර්ය උපාධි හිමිකරගෙන තිබෙනවා.

ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ රැසක් බෞද්ධ ජනතාව වෙනුවෙන් සම්පාදනය කළ උන්වහන්සේ බෞද්ධ සමාජය නඟා සිටුවීම උදෙසා ඉමහත් දායකත්වයක් ලබාදුන් යතිවරයාණන් වහන්සේ නමක ලෙසයි හැඳින්වෙන්නේ.

කෝට්ටේ ශ්‍රී කල්‍යානි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ලෙස උන්වහන්සේ කලක් කටයුතු කළත්, පසුගිය නොවැම්බර් මස 18 වැනිදා උන්වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ තරුණ භික්ෂූණ් වහන්සේලාටද එම අවස්ථාව හිමිකර දිය යුතු බව පෙන්වා දෙමින්.

විද්වත් පඬිරුවනක් මෙන්ම සුපේෂල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස සමාජයේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වන තුරුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර හොබවනු ලැබුවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories