අගමැති ඉවත් කිරීම ගැන ජනපතිගේ තීරණය

Friday, 16 February 2018 - 14:51

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම  සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීතිවේදීන්ගෙන් උපදෙස් ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති නිළ නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සහය ලබාදුන්නත්, එහි අමාත්‍ය ධුර ලබා නොගන්නා බව ද එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් 6 වන දිටනත් අද දිවයිනේ විවිධ ස්ථානවලදී සාකච්ඡා පැවැත්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ ජනපති නිළ නිවසේදී අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණු අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණේ ඉන් අනතුරුවයි.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ ගත යුතු ඉදිරි පියවර පිළිබදව හිටපු ජනාධිපතිවරයා සිය නිළ නිවසේදී සාකච්ඡා කරමින් සිටින අතරතුරදියි.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවයි.

ඉන් අනතුරුවයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීමට ජනපති නිළ නිවස වෙත ගොස් තිබුණේ.

එම හමුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට පූර්ණ සහයෝගය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම  සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සහ නීතිවේදීන්ගේ උපදෙස් ලබාගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කළා.

ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර පැවැති සාකච්ඡාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා  කිරීමට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා.

මේ අතර, සිය ඥාති දියණියක් නීතිඥ වෘත්තියේ දිවුරුම් දීමේ අවස්ථාවකට අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අලූත්කඩේ උසාවි සංකීර්ණය වෙත පැමිණියා.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ද එක්වුණා.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ විපක්ෂයේ සිට අවශ්‍ය  කටයුතු කිරීමට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබදව එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර එය ආණ්ඩුවේ කාර්යයක් බවයි ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු සදහන් කළේ.

කොළඹ පැවති උත්සවයකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ද උද්ගතව ඇති දේශපාලන අර්බුදය පිළිබදව අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ජනමතයට ගරු කරමින් ඉදිරියට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories