අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Friday, 16 February 2018 - 16:25

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ව්‍යවස්ථානුකූලව තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අරලිය ගහ මන්දිරයේ අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා පවත්වන බවයි.

පවතින රජය වෙනසකින් තොරව ඉදිරියට ගෙන යන බව ද ඔහු මෙහිදී සඳහන් කළා. 

ඉදිරි දෙවසරක කාලය තුළදී ආණ්ඩුවේ වැඩසටහන් ප්‍රතිව්‍යුහගත කරමින් එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ලබාදෙමින් කටයුතු කරන බව ද ඔහු කියාසිටියා.

එහිදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රශ්න කිහිපයක්  යොමු කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා  කියා සිටියේ ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා තමන් තවදුරටත් කටයුතු කරන බවයි.

පක්ෂයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු ද සිදුකරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීමට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නායකත්වය ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයින්ගෙන් ලැබුනු අනතුරු ඇගවීම ද පිළිගන්නා බවයි මාධ්‍ය කළ ප්‍රශ්ණ කිරීම්වලට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියාසිටියේ. එය පිළිගනිමින් ඉදිරි වැඩකටයුතු සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

පවතින රජය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාහැකි බවට වන ස්ථාවරයේ තමා පසුවන බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

අගමැතිවරයා ඉවත්විය යුතු අවස්ථා ව්‍යවස්ථාවේ පැහැදිළිව දැක්වෙන අතර තමාට දැනට පාර්ලිමේන්තුවේ බහුතරයක් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුනා. මැතිවරණ ප්‍රතිඵලයට එය බලපෑමක් සිදුවු බවට විශ්වාස කරන බවයි අගමැතිවරයා සඳහන් කළේ.

කැබිනට් මණ්ඩල සංශෝදනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු වන බව ද ඔහු කියාසිටියා.

ජාතික ආණ්ඩුවල ගැටලු පැවතීම සාමාන්‍ය තත්වයක් වන අතර නායකයන් දෙදෙනෙකු සිටීම තුලින් ගමනට බාධාවක් නොවන බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

එක්සත් ජාතික පක්ෂයේම මැති ඇමතිවරුන්ගෙන් සන්ධාන රජයට එල්ලවන චෝදනා පිළිබඳ මාධ්‍ය මෙහිදී ප්‍රශ්න කළා.

එහිදි අගමැතිවරයා කියාසිටියේ රටේ සංවර්ධනය පිළිබඳ තීරණ රැසක් ගෙන ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

සාගල රත්නායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ද අගමැතිවරයා අදහස් පළකලා.

ඒ සම්බන්ධයෙන් ඔහු මීට පෙර තමා දැනුවත් කර තිබු අතර එය ඔහුගේ කැමැත්ත මත සිදුවුවක් බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිලිබඳ පක්ෂය තීරණය කරනු ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories