වත්තල දී ‘දඩල්ලේ මංජු’ට වෙඩි (ඡායාරූප)

Friday, 23 February 2018 - 14:42

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E2%80%98%E0%B6%AF%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E2%80%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

වත්තල - ශාන්ත ආනා දේවස්ථාන භුමියේදී මෙම වෙඩි හුවමාරුව සිදුවු අතර පොලිස් විශේෂ කාර්ය බලකාය එහි ගොස් සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැක කටයුතු වෑන් රථයක් පරික්ෂාව සඳහායි.

එම අවස්ථාවේ වෑන් රථයේ සිටි ඩී. මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත වෙඩි තබා ඇති අතර, එහිදී එල්ල කල ප්‍රතිප්‍රහාර වලින් ඩී. මංජු මියගොස් තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෑන් රථයේ සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම සැකකරුවන් දෙදෙනා පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනුනා.

අවුරුදු 28 සහ 50 වයස්වල පසුවන එම සැකකරුවන් දෙදෙනා වත්තල සහ මාතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මියගිය පුද්ගලයා පැමිණි වෑන් රථයේ තිබී ස්වයංක්‍රීය ගිනි අවියක් ද හමුවු බවයි පොලිසිය සඳහන් කළේ.

මනුෂ්‍ය ඝාතන රැසක සැකකරු වන ඩී.මංජු බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක මත්කුඩු බෙදා හැරීම සිදුකරගෙන ගොස් තිබුණා.

මොහු, පසුගිය 15 වනදා මෝදර වැල්ල ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරිමේ සිද්ධියට චෝදනා එල්ල වූ වැල්ලේ සුදා නැමති පාතාල සාමාජිකයාගේ සමීපතමයෙකු ද වනවා.

එසේම 2014 වසරේ මැයි මස 12 වනදා කැළනිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී ෂමිල සදරුවන් මෝටර් රථයකින් යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු ද වන්නේ ඩී. මංජුයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු මොහු පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම 2015 වසරේ දෙසැම්බර් 31 වනදා පැලියගොඩ, බුළුගහ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් ඞී. මංජුට වෙඩි තබා පලාගිය අතර සිද්ධියෙන් ඔහු දිවි බේරා ගත්තා.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ සමයං නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයෙකු ලෙසද ඩී.මංජු කටයුතු කළා.

සමයං ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන දැනට විදේශගතව සිටින මධූෂ් නැමැති පාතාල නායකයාගේ ආධාරකරුවෙකු වන හර්ෂ යසස් නැමැති පාතාල සාමාජිකයා 2016 වසරේ මාර්තු 03 වනදා රාජගිරිය - ඔබේසේකරපුරදී ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පදවාගෙන ගොස් තිබුණේද මියගිය ඩී. මංජුයි.

ඔහු වර්තමාන රජය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු සමඟ සබඳතාවක් පැවැත් වූ පුද්ගලයෙකු බවටද තොරතුරු වාර්තා වනවා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories