අත්තනගලූ සහ මා ඔයේ ජල මට්ටම යළි ඉහළට - පීඩාවට පත්වූවන් 138,000 ඉක්මවයි

Friday, 25 May 2018 - 18:41

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+138%2C000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දිස්ත්‍රික්ක 20 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පවුල් 35,129 කට අයත් පුද්ගලයින් 138,292 පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බවයි.

පවුල් 13,199 කට අයත් පුද්ගලයින් 53,616 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 231 ක රඳවා සිටිනවා.

නිවාස 3841 කට අර්ධ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 64 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්.

මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ හලාවත - මාදම්පේ - ගල්මුරුව - දකුණ - ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගිය මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබුණා.

ඔහු සොයා තවමත් නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

එමෙන්ම, අලව්ව - නවතල්වත්ත - කිරිවම්මල ප්‍රදේශයේදී ද පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.

ගම්පහ ප්‍රදේශයේ අවන්හලක බීමතින් සිටි පුද්ගලයෙකු ද සැඩපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී තිබුණේ ඊයේ රාත්‍රියේදියි.  

එසේම මධ්‍ය කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් අද දහවල් යළි විවෘත කරනු ලැබුවා.

තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20 ම අද අළුයම් කාලයේ විවෘත කෙරුණු අතර ඒ හේතුවෙන් තබ්බෝව අංක - 01 තම්බපණ්ණී ගම්මානය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණා.

අත්තනගලූඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මීගමුව, ජාඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත් වන ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඊට අමතරව මා ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් බඩල්ගම සහ ගිරිඋල්ල ප්‍රදේශවල පහත්බිම්වල ජනතාව ද අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලට පනවා ඇති නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය අද පස්වරු 4ට යළිත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මේ අතර, අද පස්වරුවේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, හෙට සිට තද වැසි අඩු වනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories