මාතර කොල්ලයට, කොස්ගොඩ තාරකගේ මව ඇතුලු 5 ක් අත්අඩංගුවට - මියගිය පොලිස් කොස්තාපල්වරයාට උසස්වීමක්

Friday, 22 June 2018 - 17:49

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මේ වන විට අත්අඩංගුවට පත්ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැති පාතාල නායකයා බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට අදාළව කොස්ගොඩ තාරකගේ මව ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධකරුවන් පැමිණි එක් යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය එම කාන්තාව බවයි පොලිසිය සඳහන් කළේ.

කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාරිය ජානකී ප්‍රියන්ති සොයිසා නම් අයෙක්.

ඇයගේ නිවසේ තිබී මෙරට නිශ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පතොරම් භාවිත කරන ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.

මේ අනුව සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 5 ක්.

මේ අතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධියේදී සිදුවූ වෙඩි හුවමාරුවෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් එම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ.

මෙම සිද්ධියට අදාළව මේ වන විට 5 දෙනෙකු අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඉන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔවුන් තුන්දෙනා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

ඉන් එක් සැකකරුවෙක් තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැත්තායි.

එම පුද්ගලයා අපරාධ ගණනාවකට පොලිසියට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ද වනවා.

2017 වසරේදී කොස්ගොඩ ලෑලි හේත්තුව ප්‍රදේශයේ නිවසකදී පියෙකු සහ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එදිනම එම ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, එදිනම එම ප්‍රදේශයේ තවත් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර මුදල් කොල්ලකෑම සහ අලුත්ගම, තංගල්ල, පානදුර ඇතුලු ප්‍රදේශ ගණනාවක බැංකු මංකොල්ලකෑම ඇතුලු අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ කොස්ගොඩ තාරක නැමැත්තා කොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපරාධකරුගේ විරුද්ධවාදියෙකු බවයි.

එමෙන්ම ඔහු මාකඳුරේ මදුෂ් නැමති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

තවත් සැකකරුවෙකු කොස්ගොඩ තාරක නැමැත්තාගේ සහෝදරයා වන මදුක නිර්මාල් පෙරේරා විජේසේකරයි.

අනෙක් සැකකරු අතුල කිත්සිරි කුමාර නම් දුටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් දෙදෙනා ද කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම කොල්ලකෑමට තැත් කිරීමේ සිද්ධියට අදාළව අද පෙරවරුවේම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් ද පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් එම සැකකරු පසුගිය අප්‍රේල් මස 21 වනදා අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ගැබිණි කාන්තාවක් ඇතුලු 4 කට තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අද උදෑසන 10.25 ට පමණ කොල්ලකරුවන් මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි අතර එහිදී පොලිස් නිලධාරීන් සමග වෙඩි හුවමාරුවක් සිදුවුනා.

එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනෙකු මාතර රෝහලට ඇතුලත් කෙරුනු අතර 33 හැවිරිදි කොස්තාපල්වරයෙක් රෝහලේදී ජීවිතක්ෂයට පත්වුනා.

ඔහු මාතර ගොඩගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර වයස අවුරුදු 5 ක සහ අවුරුදු 3 ක දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

පොලිසිය කියාසිටියේ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල් රියදුරෙක් මාතර රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.

පොලිසියේ වෙඩි තැබීම හමුවේ පළාගිය සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක්, වෙඩි තැබීමට රැගෙන ආ ස්වයංක්‍රීය ගිනි අවියක්, මිලිමිටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 18 ක් සහිත මැගසිනයක් සහ පිස්තෝල මැගසිනයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, හික්කඩුව - වෑවල ප්‍රදේශයේදී අද උදෑසන වෙඩි තැබීමකින් මිය ගිය පාතාල සාමාජිකයා කොස්ගොඩ සුජීගේ සගයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

29 හැවිරිදි ඉනාසි චමින්ද හෙවත් චමින්ද කුමාර නමැති ඔහුට වෙඩි තබා තිබුණේ ෆුල්ෆේස් හෙල්මට් පැළද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories